පුවත්

රිමාන්ඩ් කළ නීතීඥවරියව නිදහස් කරන්න නියෝග (Update)

Published

on

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කළේය.

(මූලාශ්‍රය – අරුණ)

(පෙර පුවත 2025 මාර්තු 31 පෙ.ව.8.46)


අධිකරණයට හිස නොනැමුවයි විනිසුරුවරිය, නීතීඥවරිය රිමාන්ඩ් කරයි

අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණු බව කියන නීතිඥවරියක ඇප කොන්දේසි සපුරාලන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුහන්දුරුගොඩ මහත්මිය නියෝගක් ලබාදී තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හලාවත – ආරච්චිකට්ටුව පදිංචි නීතිඥවරියකි. 

ඇය වෙනුවෙන් පුත්තලම අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් දෙදෙනකු විසින් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප අත්සන කළ යුතු බවත් එම ඇපකරුවන්ගේ ආදායම් වාර්තා සනාථ කර ගත යුතු බවත් විනිසුරුවරිය විසින් නිකුත් කර ඇති නියෝගයේ සඳහන් වේ.

වයඹ පළාත්බද පුත්තලම මහාධිකරණයේදී පසුගිය 07 වැනිදා ඇය යම් ඇප අයැදුමකට අදාළව කරුණු සැල කර ඇප අයැදීමේදී මහාධිකරණය හෝ අධිකරණ විනිශ්චකාරවරිය සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමැතීම චේතානාන්විතව නොකර සිටීම ඇයට එල්ල වී ඇති එක් චෝදනාවක් වේ.

එමෙන්ම පසුගිය 28 වැනිදා විවෘත අධිකරණ ශාලාවට ඇතුළු වීමේදී අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතානාන්විතව නොකර සිටීම ඇයට එල්ල වී ඇති අනෙක් චෝදනාව වේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version