පුවත්

ලාංකික තරුණයෙක් කැනඩාවේදී මරුට

Published

on

කැනඩාවට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් භාරදීම සඳහා කැනඩාවේ වෑන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට එන අතරතුර විදුලි සංඥා පුවරුවක් අසල මෝටර් රථය නවතා තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් විනෝජ්ගේ මෝටර් රථය පිටුපසින් හප්පා ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් විනෝජ් මියගොස් දින 19කට පසුව දේහය මත්තේගොඩ, නඳුන් උයනේ පිහිටි නිවසට ඊයේ (11) ගෙනවිත් තිබු අතර, ගාල්ල, බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

ඔහු මේ අනතුරට මුහුණ දී ඇත්ත‌ේ ඉකුත් ජුනි 22 වැනිදාය.

ඔහු මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධියක් ලබා ඉන් අනතුරුව, අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටියදී මෙසේ මිය ගොස් ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි එම්.එච්. විනෝජ් යසංග ජයසුන්දර නැමති තරුණයකි.

වෑන්කුවර් නගරයේ දී බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම තරුණයාට දිවි අහිමි වී ඇතැයි ඒරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විනෝජ් අනතුරට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් විනෝජ් තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ දී නීතිවේදී උපාධිය ද හිමිකර ගෙන තිබේ.

ඔහු මියයන විට කැලිෆෝනියාවේ ඇපල් සමාගමේ ද සේවය කරමින් සිට ඇත.

Trending

Exit mobile version