පුවත්

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති අතර එහිදී පක්ෂ නායකයන් එක්ව මෙම එකඟතාවයට එළඹී තිබේ.

ඔහු සඳහන් කළේ දෙසැම්බර් 03 වනදා සහ 04 වනදා යන දින දෙකෙහි එම විවාද පවත්වන අතර විවාදයෙන් පසුව ඡන්ද විමසීමක් සිදු කිරීමට පක්ෂ නායකයින් තීරණයකට පැමිණි බවය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව  පක්ෂ අදහස් මෙන්ම විපක්ෂ අදහස් ඇත්නම් ඒ පිළිබඳ ව ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදීම තමයි එම දින දෙකේදී ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන බවද බිමල් රත්නායක මහතා පවසා තිබේ.

මේ අතර, දෙසැම්බර් 05 වනදා සහ 06 වනදා අතුරු සම්මත ගිණුම පිළිබඳව යෝජනාව වාදවිවාද කරලා එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් එහිදී එකඟ වී ඇති බව වාර්තා වේ.

මෙම තුරු සම්මත ගිණුම මගින් 2025 අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් වෙන්කර ගැනීම සිදුවන අතර එය ඡන්දයකට යාමට බලාපොරොත්තු නොවන බව පක්ෂ නායකයින් පවසා තිබේ.

Trending

Exit mobile version