Connect with us

Videos

ඇමෙරිකානු තානාපතිනය මෙරට මුහුදු පතුලටත් යයි (වීඩියෝ)

Published

on

ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය විසින් මෑතකදී ගොඩවාය මුහුදුබත් නෞකාව දැකගැනීමට සිදුකළ කිමිදුම් චාරිකාව සමුද්‍රීය ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය සඳහා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතරේ ඇති සහයෝගීතාවය ඉස්මතු කරයි.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය සමග සහයෝගයෙන් ආසියා-ශාන්තිකර කලාපයේ හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නෞකාවක් වන ගොඩවාය දියබත් නෞකාව සංරක්ෂණය සහ ලේඛනගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ පොහොසත් සමුද්‍රීය ඉතිහාසය සුරැකීම සඳහා ඉතා වැදගත් පියවරක් ගෙන තිබේ. 

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන ඇමෙරිකානු තානාපති අරමුදලෙන් මුදල් ලබමින් ක්‍රියාත්මක වන මෙම මුලපිරීම සංස්කෘතික සංරක්ෂණය සහ පුරාවිද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන සහයෝගීතාවය අවධාරණය කරයි. 

ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය, එම තානාපති කාර්යාලයේ මහජන සබඳතා පිළිබඳ උපදේශක හයිඩි හටෙන්බාක් මහත්මිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ මහතා සමගින් හම්බන්තොට වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම ඉපැරණි ගොඩවාය දියබත් නෞකාව දැකබලාගැනීම පිණිස කිමිදුම් චාරිකාවක නිරත වූවාය. 

මෙම චාරිකාව, ක්‍රි.පූ. 2වන සියවසට අයත් මෙම දියබත් වූ සංස්කෘතික වස්තූන් අධ්‍යනය කිරීමට සහ සංරක්ෂණය කිරීමට සංස්කෘතික සංරක්ෂණය සඳහා වන ඇමෙරිකානු තානාපති අරමුදලෙන් මුදල් ලබා 2022 දී දියත් කළ ව්‍යාපෘතිය ඇතුළත් ඒ පුළුල් ප්‍රයත්නයේ කොටසක් වේ. 
මේ කටයුත්තෙහි වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් දැනුනු විස්මය පල කරමින් චංග් තානාපතිතුමිය, “මුහුදු මතුපිට සිට මීටර 33ක් ගැඹුරින් ඇති ගොඩවාය දියබත් නෞකාව මගේ දෑසින් ම දැකගන්නට ලැබීම අද්විතීය අත්දැකීමක් වූවා. එය, වැදගත් නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හෙළි කරනවා. ගෝලීය සමුද්‍ර වෙළඳාමේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරමින් අනාගත පරපුර සඳහා මෙරට පොහොසත් සංස්කෘතික උරුමය සුරැකීම සහතික කරන මෙම ප්‍රයත්නයට සහාය දැක්වීමට හැකිවීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වනවා.”
තානාපතිතුමිය පළ කළ අදහස්වලට තවත් එක් කරමින්, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මහජන සබඳතා පිළිබඳ උපදේශක හයිඩි හටෙන්බාක් මහත්මිය මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී වටිනාකම මෙසේ අවධාරණය කළාය, “ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසයේ වැදගත් මාවතක ගැඹුරට කිමිදීමට දක්ෂ ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන්ට සහ පර්යේෂකයන්ට සහාය වූ හවුල්කාරිත්වයක් වන මෙම වැදගත් අධ්‍යයනය සහ සංරක්ෂණය සඳහා සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය සමඟ හවුල් වීමට ලැබීම අපට ගෞරවයක්. ඉදිරි මාස කිහිපය තුළ, ඔවුන්ගේ කැපවීම හා උත්සාහයන් අනාගත පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සහ සංරක්ෂණ මුලපිරීම් සඳහා මග පාදමින් ශ්‍රී ලංකාවේ දිය යට සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධය සහ ප්‍රවේශ්‍යතාව තවත් වැඩි කරාවි.” 

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ මහතා ව්‍යාපෘතියේ තාක්ෂණික අංශ සහ ගැඹුර ගැන මෙනෙහි කරමින් වැඩිදුරටත් පැවසුවේ, “ගොඩවාය දියබත් නෞකාවේ කැණීම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවීම අපට ගෞරවයක්. අපගේ ගවේෂණ සිදුකරන්නට වූ ගැඹුර සෑහෙන අභියෝග ඉදිරිපත් කළත්, සත්‍ය හෙළිදරව් කිරීම සහ පුරාණ සමුද්‍ර මාර්ග සහ වෙළඳ භාවිතයන් පිළිබඳ ඉතිහාසය සුරැකීමට අපේ වූ පොදු කැපවීම අපගේ කණ්ඩායම් අතර ශක්තිමත් බැඳීමක් ඇති කළා. මේ හවුල්කාරිත්වය අනාගත සංස්කෘතික සංරක්ෂණ කටයුතු සඳහා ආදර්ශයක්.”

ගාල්ලේ පිහිටා ඇති සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය (MAU) ශ්‍රී ලංකාවේ දිය යට සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සහ ගවේෂණය කිරීම, පුළුල් පර්යේෂණ පැවැත්වීම සහ උසස් සංරක්ෂණ ක්‍රමවේද භාවිතය සඳහා කැපවී සිටී. ඉන්දියානු සාගරයේ පැරණිතම දියබත් වූ නෞකාවක් වන ගොඩවාය දියබත් නෞකාව යනු, දැනට MAU ක්‍රියාත්මක කරන වඩාත් වැදගත් ව්‍යාපෘතිවලින් එකකි. මූලික පර්යේෂණ ප්‍රයත්නයන් මගින් වටිනා තොරතුරු රාශියක් හෙළිදරව් කර ගෙන ඇති අතර, මෙම නෞකාවේ විවිධ භාණ්ඩ ප්‍රවාහනය කර ඇති බවත්, නිමි ඇඹරුම් ගල් සහ පිඟන් මැටි බඳුන් සමඟ යකඩ සහ වීදුරු කුට්ටි යනාදිය ඊට ඇතුළත් වී තිබේ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදලේ අනුග්‍රහය හරහා, සුන්බුන්වලින් මතුකරගත් මැටි පිඟන් භාණ්ඩවල සිට ලෝහමය වස්තූන් සහ සියුම් කානේලියන් පබළු දක්වා වූ පුරාවස්තු 200කට ආසන්න ප්‍රමාණයක් සුරැකීමට MAU සමත් වී ඇත. ඇමෙරිකානු අරමුදල් පුරාවිද්‍යා ස්ථානය සැකසීමේ ආරම්භක අදියර සඳහා පහසුකම් සැලසීමට සහ විස්තීරණ අඩවි සමීක්ෂණ සඳහා ත්‍රිමාණ ආකෘති (3D) නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට ඒකකයට ඉඩ සලසා දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතියත් සමඟ, ශ්‍රී ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යා සහ සංස්කෘතික සංරක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දියබත් නෞකාව සහිත සමස්ථ ස්ථානයේම සම්පූර්ණ ත්‍රිමාණ ආකෘතියක් සංවර්ධනය කිරීමට MAU කටයුතු කරමින් සිටී. නෞකාවෙන් ඉවත් කරන ලද පුරාවස්තු අවසානයේ ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට පැමිණ නැරඹීමට සහ රටේ පොහොසත් ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි වන අන්දමින් සමුද්‍ර ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කෙරේ. මෙම කිමිදුම් ස්ථානය අවට පාසල් සහ සිසුන්ට ගොඩවාය ව්‍යාපෘතියෙන් ඉගෙනීමට අවස්ථාවන් ගෙන දෙන අධ්‍යාපන වැඩසටහනක් සඳහා ද AFCP විසින් අරමුදල් සපයනු ඇත. 

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන තානාපති අරමුදල (AFCP) පිළිබඳව: AFCP ප්‍රදාන වැඩසටහන සිවිල් සමාජය ශක්තිමත් කරන, ආර්ථික වර්ධනයට සහ සංස්කෘතික විවිධත්වයට ගරු කරන වැඩසටහන් හරහා ලොව පුරා සිටින ප්‍රජාවන්ට ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් සුරැකීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර කරන වැඩසටහනකි. AFCP ප්‍රදානයන් පුරාවිද්‍යාත්මක ස්ථාන, ඓතිහාසික ගොඩනැගිලි සහ ස්මාරක, කෞතුකාගාර එකතු සහ දේශීය භාෂා සහ සංගීතය සහ ශිල්ප වැනි සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන ආකෘති සංරක්ෂණයට සහාය වේ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල 2001 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 15ක් සඳහා අරමුදල් සපයා ඇති අතර, එසේ ලබාදුන් ආධාර මුදල්වල එකතුව ඇ.ඩොලර් මිලියන 1.3 ක් වේ. අනුරාධපුර ලෝක උරුම අඩවියේ ඇති බටහිර ආරාම පිළිබඳ ලේඛනගත කිරීම, රජගල බෞද්ධ වන ආරණ්‍යය සංරක්ෂණය කිරීම, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති බෞද්ධ, හින්දු සහ අනෙකුත් එකතූන් සංරක්ෂණය කිරීම සහ මඩකලපුවේ ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය, ආදිවාසි, දෙමළ සහ බෞද්ධ ප්‍රජාවන්ගේ චාරිත්‍රානුකූල නර්තන සහ ගායන රටා සංරක්ෂණය කිරීම, සහ මහනුවර පිහිටි 17 වන සියවසට අයත් රජවාසල සංරක්ෂණය කිරීම ඊට ඇතුළත් ය.

Videos

චීනයේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නැව කොළඹට එයි

Published

on

By

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද (08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාව දිගින් මීටර් 86 ක් සහා නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130 කගෙන් සමන්විත වේ.

මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් මා වෙන්යොං (Ma Wenyong) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 08) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී වීමටද නියමිතව ඇත.

එමෙන්ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, මෙම නිල සංචාරය අවසන් කරමින් ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නෞකාව 2024 ඔක්තෝබර් මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

(ඡායා : navy.lk)

සබැඳි පුවත් :

Continue Reading

Videos

චීන ජාතික දිනය වෙනුවෙන් ටියැන්අන්මන් චතුරස්‍රය සූදානම (වීඩියෝ)

Published

on

By

චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය මේ දිනවල මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා තිබේ.

ඒ, හෙට ට (ඔක්තෝබර් 01 දා) යෙදී ඇති චීන ජාතික දිනය වෙනුවෙනි.

මෙය වටා මල් සැරසිලි යෙදීමෙන් පසුව මහජනයාට විවෘත කෙරුනු ඇත.

මේ වන විටත් මෙම සැරසිල්ල සමග පෙනී සිටිමින් ඡායාරූප ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය ඇදී එමින් සිටින බව වාර්තා වේ.

වසර 2011 සිට මෙවැනි සැරසිල්ලක් චීන ජාතික දිනයට පෙර ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රයට එක්කෙරේ.

සජීව විකාශය 
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නගරයේ ටියැන්-අන්-මන්  Tian’anmen චතුරශ්‍රයේදී චීන ජාතික කොඩිය එසවීමේ උත්සවයක් හෙට (ඔක්තෝබර් 1) සජීවී (බීජිං වේලාවෙන් උදෑසන 5.30ට) www.srilankachinahotline.srilankamirror.com ඔස්සේ විකාශය වේ.

Continue Reading

Videos

නව ජනපති ජාතිය අමතා කළ මංගල කතාව(ඡායා)

Published

on

By

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ  ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි .

නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් සිය මංගල කතාව සිදු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මේ වන විට යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවයි

සම්පූර්ණ කතාව,

“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය වගේම නීතිමය ශක්තිමත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාව දැනුවත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධුර කාලය තුළ තහවුරු කරන්න සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකින් බලය හුවමාරු කිරීමේදී ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා, කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවූ බල හුවමාරුවක්, කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජන වරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශය ලබාදීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල සිදුකරනවා. ඒ වගේම අප හමුවේ තිබෙන ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයෙකුට පමණක් පියමං කළ හැකි දෙයක් බව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයට පෙරත් මම ප්‍රකාශ කර ඇති පරිදි මා ඉන්ද්‍රජාලිකයෙකු හෝ මැජික්කරුවෙකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්න දේ එක්රැස්කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙකු ලෙස පත්වීම මගේ වගකීමයි. ඒ වෙනුවෙන් සාමූහිකව මැදිහත් වීමේ කොටස්කරුවෙකු හැටියට මා පත්වෙනවා. මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ටත්, සියලු ක්ෂේත්‍රවල අයටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා හැමදෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙයවීමේ ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමත් මා වෙත තිබෙන බව තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රියාවෙන්ම හැම අවස්ථාවකදීම මේ අභියෝගය පියමං කිරීම සඳහා මා වෙත පැවරී තිබෙන වැඩකොටස මා නිසි පරිදි ඉටුකරන බව මේ මේ රටේ පුරවැසියන්ට, සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.

ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ලෝකයේ කවර බල බෙදීමකදී වුවත් අපට වඩාත් වාසි සහගත ලෙස අපි අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. අපට අවශ්‍ය ලෝකයේ හුදකලා රාජ්‍යයක් නොවෙයි; ලෝකයත් සමග සාමූහිකව, ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔවුන් වඩා ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහයෝගය දේවි, උදව් කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

අවසන් වශයෙන් මම කියන්නේ, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළින් මාව ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන සිටිනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මා වෙත ඡන්දය ලබාදී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම සාර්ථකව සිදුකළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved