ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් පොලිසියට ලබාදීම අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබා දුන්නේය.
ශ්‍රී ලංකා පොලිසියට විශේෂ දවසක් බවත්, සමහර පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුල එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව එම අවස්ථාවට එක් වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබේ.
මහජනතාවගේ ඉල්ලීම් අනුව සොරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම නව ජීප් රථ ශ්‍රී ලංකා පොලිසියට ඉතා අවශ්‍ය බවත්, පොලිසියට වාහන සපයා ගැනීම පසුගිය අවුරුදු 3 දීම කරගැනීමට නොහැකි වූ බවත්, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සමග ඉතා සමීපව වැඩකිරීම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස්තුමන්ටද විශේෂ ස්තූතිය පල කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මගින් ශ්‍රී ලංකා පොලිසියට මෙම නව ජීප් රථ ලබාදීමට හැකිවීම පිලිබඳව ඉන්දියානු රජය ඉතා සතුටුවන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.