ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.
චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම, 2027 වසරේ ඝ්Sඵ්+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.