පුවත්

ඉන්දු-ලංකා තෙල් නළ එළීමේ ශක්‍යතා අධ්‍යයනය ලබන මස ඇරඹෙයි

Published

on

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එළීමට යෝජිත ඉන්ධන නළයට අදාළ ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේදී ආරම්භ කරන බව ඉන්දියා තෙල් සමාගම මෙරටට දැනුම් දී තිබේ.

ඉන්දියා තෙල් සමාගම මෙලෙස දැනුම් දී ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ඉන්දියාවේදී හා මෙරටදී පැවැති සාකච්ඡාවකදීය. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්නම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුදු යටින් ශ්‍රී ලංකාවට එළන නළ පද්ධතිය වවුනියාව දක්වා පැමිණීමට නියමිතය.

එහිදී එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්වාද අනෙක් නළ මාර්ගය මන්නාරම දෙසට ගොස් කොළඹ දක්වාද පැමිණීමට සැලසුම් සකස් කර තිබේ.

ඉන්දීය රජය හා ඉන්දියානු තෙල් සමාගම ඉන්දියාව පාර්ශ්වයෙන් කෙරෙන කටයුතු බොහෝමයක් මේ වන විට අවසන්ව ඇති අතර මෙරට පාර්ශ්වයෙන් කෙරෙන අධ්‍යයන කටයුතු යම් ප්‍රමාදයකට ලක්ව ඇත්තේ පෞද්ගලික ඉඩම් මතින් ද මෙම නළ මාර්ගය ගමන් කිරීමට සිදුවීම නිසාවෙනි.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙම නළ මාර්ගය ඉදිකිරීමට ඉන්දියානු තෙල් සමාගම සූදානම් බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ පැවැති සාකච්ඡාවේදි වැඩිදුරටත් දැනුම් දී තිබේ.

(සිළුමිණ)

Trending

Exit mobile version