මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන දක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවටත්ල අදාළ පුද්ගලයින් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවටත් හෙළි වී ඇති බවත් වාර්තා වේ.
එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙසයි අදාළ පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (05) රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසය.
මෙම දැනුම්දීම අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තමන්ව ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බවත් දැනගන්නට ලැබී තිබේ.