Connect with us

පුවත්

“උරුමය”  රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක්

Published

on

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි..

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සංකේතාත්මකව උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

“උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා.

පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි.

අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ  එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි.

ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා.

මෙම වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමි විය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටළුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳිමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා.

අප ආණ්ඩුව භාරගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට රජය කටයුතු කළා.

ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.”

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved