Connect with us

පුවත්

එක්ස්ප්‍රස් පර්ල් සල්ලි ගත්තේ චාමර ගුණසේකර – විජේදාස

Published

on

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය.

තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක් බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇතිවුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නයි නීතිපතිවරයා උපදෙස්දී තිබියදී එය මුදා හැර තිබූ බව පවසන රාජපක්ෂ මහතා නැව මුදා මුදා හැරීමට නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ මහතා බවද සඳහන් කළේය.

මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා මහතාගේ නම බවත් විජයදාස රාජපක්ෂ මහතා කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා මහතා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

“එදා නැවට යන්න දුන්නු නිසා අධිකරණවල නඩු දෙක තුන දාගෙන විත්ති කාරයෝ හොයාගන්න බැරිව සිතාසි ටික බෙදාගන්න බැරුව අපි දුක් විඳිනවා.අපේ අලාභය ලැබෙන්නෙත් නෑ. හානියට වන්දියක් ලැබෙන්නෙත් නෑ.”

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීනීතිඥ චන්දිම වීරක්කොඩි මහතා:

මේ වන්දිය මීට අවුරුදු දෙකකට කලින් ලබාගන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ කාරණය හොයන්න ඕන. චාමර ගුණසේකර කියන නම මටත් ආවා.ඔහු කවුද ඔහු කවුරු වෙනුවෙන් ඒ මුදල ලබා ගත්ත ද කියන එක හොයන්න ඕන. මුදල් ගනුදෙනුවක් නිසා වන්දිය ප්‍රමාදයක් වුණාද කියන එක සොයන්න ඕන . ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා;

මේ නැවෙන් සමස්ත ජන ජීවිතයටම විශාල හානියක් සිදු වුණා. බටහිර වෙරළට අද වුණත් ගිහිල්ලා බලන්න. මේ හානිය දිනෙන් දිනම සිදු වෙනවා. ප්ලාස්ටික් කෑලි අදටත් ගොඩක් ගහනවා. අපේ මත්ස්‍ය සම්පතට විශාල බලපෑමක් වුණා. නඩුව සිංගප්පූරුවේ පවත්වන්න අපි එකඟත්වයදී තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව ගැන එක එක නම් සඳහන් වෙනවා. මේ ගැන තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන. මේ විනාශයට ගෙවන සුළු ගාණත් නවත්වලා. ප්ලාස්ටික් කෑලි ටික එකතු කරගන්නවත් මුදල් ටික දෙන්නෙ නෑ.

මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා:

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන මම යමක් කියන්න ඕන. වන්දිය ප්‍රමාද වුණා නම් ඒකෙ වගකීම ගන්න ඕන හිටපු අධිකරණ ඇමතිවරුන් දෙන්නා.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

නැව නිදහස් කරගන්න එපා කියලා නීතිපතිතුමා කියලා තියෙද්දී තමයි නැව නිදහස් කරගෙන ගිහිල්ලා තියෙන්නෙ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව නිකුත් කරන්න ඉල්ලලා නෑ.

නාලක ගොඩහේවා මහතා:

මම කිසිම අවස්ථාවක නැව නිදහස් කරන්න ඉල්ලලා නැහැ. ඒකට යන්න දුන්න එක වැරදියි කියන මතයෙ තමයි මමත් ඉන්නේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා:

මේකෙ චෝදනාව සම්පූර්ණයෙන්ම තියෙන ඔබතුමාට.

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මේ සිද්ධිය ඇතිවුණේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව තුළ. එතකොට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද. රජයට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ. මේ නඩුව සිංගප්පූරුවේ දාන්නෙ ඇයි. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.

විජයදාස රාජපක්ෂ මහතා

කිරිඇල්ල කරපු ප්‍රකාශය වරදක්. නීතිපති උපදෙස් අනුව තමයි අපි කටයුතු කළේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා:

මෙතන ඉන්න බක පණ්ඩිතයෝ දෙන උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ.අපි කටයුතු කළේ නීතිපති උපදෙස් අනුව.

කිරිඇල්ල මහතා

මේ නැවට අදාල සීසීටීවී දර්ශන විනාශ කරලා. මෙතන මහා කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙනවා.

පුවත්

බාල එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා ගොනු කරන්න යයි

Published

on

By

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්  මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේදී අධිචෝදනා ගොනුකරන බව නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද දැනුම් දුනි.

ඊට අමතරව ප්‍රශ්නගත මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ද විමර්ශනයක් සිදුකළ බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සතියේදී නඩු පැවරීමට තීරණය කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බවත් සඳහන් කළේය.

ඊට අමතරව මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන සෙසු ඖෂධ හා ආම්පන්න මිලදී ගැනීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ලිපි ගොනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

වැස්සෙන් වුන වගා හානි ගැන කියන්න 1918 ට කතා කරන්න

Published

on

By

පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ කර ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ.

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලැබේ.

ඉහත තත්ත්වය යටතේ දැනට මාතර දිස්ත්‍රික්කයේ ගොවියන් 100 ක ගේ පමණ කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බව වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබඳව නිරන්තර අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වන බව දැන්වා ඇත.

අපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන් හි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යාමට ලක් වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇති බව සඳහන් වේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත දැනුවත් කිරීම සිදුකළ හැකිය.

Continue Reading

පුවත්

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවන්න උපායමාර්ගික වැඩපිළිවෙළක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.

දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව මිල්කෝ ආයතනයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු,  මිල්කෝ ආයතනයේ සභාපති ජී.වී.එච්. ගෝඨාභය,  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති  වෛද්‍ය බී.සී.එස්. පෙරේරා යන මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved