Connect with us

පුවත්

ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය හෝටලයකට විකිණෙයි

Published

on

ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “විසල් මහනුවර සංවර්ධන සැලැස්ම” හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.

බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති අතර,

2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොදින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන බව අධ්‍යක්ෂකවරයා කියයි.

අධ්‍යක්ෂකවරයා පවසන්නේ, මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන තිබේ.ඊට අදාල ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බවය.

වසර 138 ක් ක්‍රියාත්මක වූ බෝගම්බර බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන යන ලදී.  දැනට එය විවෘත වන්නේ මහජන ප්‍රදර්ශනය සදහා පමණි.

බන්ධනාගාරය ඉදි කිරීමට පෙරාතුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූයේ හැන්ග්මන්ස් හිල් (Hangmans Hill) නම් වර්තමාන මහනුවර මධ්‍යම වෙළදපොළට ඉදිරියේ පිහිටි කදු ගැටයකයි.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහයද ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය විය.නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණින් බෝගම්බර වැව ගොඩ කරමින් පෝරකයක් ද සහිතව ඉංග්‍රීසීන් විසින් මෙම බන්ධනාගාරය ඉදි කරන ලද්දේ වර්ෂ 1876 දී යි. ඒ රජයේ වැඩ දෙපාර්තමේන්තුව හරහා එවක ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් වූ එන්.ආර් සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේයි.

රුපියල් ලක්ෂ 4 ක මූල්‍ය පිරිවැයක් දරා සිරකරුවන් 92 ක ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම බන්ධනාගාරය ඉදි කර තිබේ.

මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙක අතුරින් එකක් වන්නේද බෝගම්බර බන්ධනාගාරයයි.විශාලත්වය සහ ආරක්ෂාකාරී බව අතුරෙන් ලංකාවේ දෙවන ස්ථානය හිමි වන බෝගම්බර බන්ධනාගාරය තුළ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකිව තිබුණි.

අක්කර 13 ක් පුරා විහිදුණු මෙය එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමානව ඉදි කරන ලද්දකි.එහි දිග අඩි 556 කි, පළල අඩි 144 කි, උස අඩි 102 කි. ඝණ අඩි 1080 කින් යුක්ත (10×12×9) සිරකරුවන් 408 ක් සදහා ප්‍රමාණවත් වන පරිදි සිරමැදිරි 328 කින් එය සමන්විත වෙයි.

වැදගත් ගෘහ නිර්මාණ ශිල්පයක් ඇති බෝගම්බර බන්ධනාගාරය කිසිදු තැනකින් වෙන් නොවුණු එකම තනි පාදමක් මත ඉදි වි ඇති ආසියාවේ දිග ම ගොඩනැගිල්ලයි.

1876 වර්ෂයේ සිට 1975 දක්වා වැරදිකරුවන් 524 දෙනෙකු මෙහිදී මරණීය දණ්ඩනයට ලක්ව තිබේ.1975 නොවැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ රටම කැළඹූ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් වූ ඩබ්.ජී රිචඩ් සහ ටී.එම් ජයවර්ධන යන වැරදිකරැවන් දෙදෙනා එල්ලා මැරීමෙන් අනතුරුව යලි කිසි දිනෙක බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඩුවම ක්‍රියාත්මක වී නොමැත.

ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වීමෙන් අනතුරුව ඇගේ මල සිරුර ගොඩගත් ස්ථානය ඇත්තේ ද මෙම බන්ධනාගාර පරිශ්‍රය තුළයි. එමෙන් ම උතුවන්කන්දේ සරදියෙල්, මරු සිරා යන පුද්ගලයන් ද කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන ප්‍රසිද්ධ පුද්ගලයන් ද මෙහි සිරගතව සිටියහ.

බන්ධනාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වන කාලයේදී විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය, බ්ලොක් ගල් නිෂ්පාදනය, මල් වගාව, සබන් හා පොල් තෙල් ව්‍යාපෘතිය ආදී කර්මාන්තයන් ද එවකට බන්ධනාගාර සුබසාධක අංශය මගින් මෙහි ක්‍රියාත්මක කර තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved