Connect with us

පුවත්

“කලබල වෙන්න එපා. ඉවසන්න” – සජිත් ප්‍රේමදාස

Published

on

“කලබල වෙන්න එපා. ඉවසන්න. නියත වශයෙන් අලුත්ම දේශපාලන බලවේගය 2020 ආරම්භ වූ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අතිවිශිෂ්ඨ ජනවරමකින් බාර ගන්නවා. අවංක පිරිසුදු විනිවිදභාවයෙන් යුක්ත හොරකම නොමැති රජයක් තුළ මෙරට සංවර්ධනය වන නොනිදන රටක් බවට පත් කරනවා.” යැයි විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පැවැති සමගි ජන බලවේග මැයි දින රැළියේදි විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා විසින් පැවැත්වූ සම්පූර්ණ කතාව පහතින්.

“අපි මේ මැයි රැළිය පවත්වන්නේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක. අපේ රටේ තීරණාත්මක ඒ වගේ ම අතිශය අවදානම් අවස්ථාවක දයාබර සෙනෙහෙබර ලක්ෂ 220ට රටේ අනාගතය තීන්දු කරන්න ලැබෙනවා. සමහරෙක් බොහෝ තැන්වල කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියලා. මම ඒ අයට කියන්න කැමතියි එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් පොරොන්දු දීලා ඉටු නොකරපු කණ්ඩායම්වලට විතරයි කියන එක. 76 වසරක ඉතිහාසයක් ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඔබ සියලු දෙනාම ආඩම්බර වෙන්න ඕන අපි ලංකාවෙන් ම අංක 1 වීම ගැන. 76 වසරක් තුළ මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් පක්ෂයක් කණ්ඩායමක් තනතුරු නොමැතිව බලයක් නොමැතිව වැඩක් කරලා නැහැ. ඒ නිසා හිතාදර සමගි ජන බලවේගයේ දයාබර සහෝදරයා සහොදරිය අපි 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අංක 1. බලයක් නොමැතිව වැඩක් කරලා අංක 1. අපේ සාමාජික සාමාජිකාවන්ට කියන්නම් අපේ වාර්තා ගැන. සක්වල සුහුරු පන්ති කාරම පාසල් 169කට ලක්ෂ 1855ක් වියදම් කරා සුහුරැ අධ්‍යාපන ක්‍රියාත්මක කරන්න කැපවෙලා. සක්වල බස් රථ වැඩසටහන තුළින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ලක්ෂ 4242ක් නිදහස් අධ්‍යාපනයට පාසල් පද්ධතියට බස් රථ දුන්නා. මේ රටේ දයාබර පුරවැසි පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කරන්න රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ ඖෂධ දුන්නා. අපි එතනිනුත් ලංකාවෙන් අංක 1.


ඒ නිසා අද මම ඔබ අතරට පැමිණියේ ඇත්ත වශයෙන්ම පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්න. ලක්ෂ 220ට මම කියන්නම අපිව විශ්වාස කරනවා නම් පිළිගන්නවා නම් අවංක යැයි සිතනවා නම් අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අත්වැල් බද ගන්න. අවිශ්වාස කරන ඕනෑ ම කෙනෙකුට විකල්පයක් දෙස බලන්න පුළුෑවන්. විකල්යපක් දෙස බලනකොට 2019 ගත්ත තීන්දුවේ ඉරණම ගැන සිතන්න. ඒ කෙසේ වෙතත් මං සූදානම් මේ අවස්ථාවේ ඇත්ත වශයෙන් ම ක්‍රමයේ වෙනසක් ඇති කරන පොරොන්දු පත්‍රය සමාජ ගිවිසුම ඉදිරිපත් කරන්න.

සියලු ම ජාතීන්ට ආගම්වලට අයිති අපේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා නිදහස් නිවහල් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ක්‍රියාත්මක කරනවා.රටේ ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස සුරක්ෂා කරන පාලනයක් ඇති කරනවා.රටේ ජනතාව ජීවත් කරවන රට නිවැරදි මගට යොමු කරවන ජනතාවාදී ජනහිතකාමී පොදු ජනවාදී සංශෝධනයට ලක් වූ අලුත් අයි එම් එෆ් ගිවිසුමක් නිර්මාණය කරනවා.මේ රටේ ළදරැවන්ගේ දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධන බලකායක් ජාතික කොමිසමක් ඇති කර ඒ හරහා දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් හා ශක්තීන් සුරක්ෂිත කරනවා.

කාන්තා මූලික පවුල්වලට විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් හැම පක්ෂයක් හැමදාම පොරොන්දු වූ සමගි ජන බලවේගයට විතරක් අවස්ථාව නොලැබුණු මොහොතක මොවුන්ගේ අයිතීන් සුරක්ෂා කරන්න වගකීම් ක්‍රියාත්මක කරන්න කැපවෙනවා. තරුණයන්ට මුල්තැන ලබා දෙන ජාතික තරුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. තරුණයන් කේන්ද්‍ර කර ගත් තරුණ කොමිසමක් තරුණ ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ඉලක්ක හා කාලවකවානු සහිතව යොවුන් අභිලාෂ ඉටු කරන තරුණයන් සවිබල ගන්න යුගය ක්‍රියාත්මක කරනවා.

දූෂණය පිටුදකින නව ස්වාධීන ආයතන අණ පනත් තුළින් පිහිටුවීම නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නොවැලැක්විය නොවෙනස්වන ලේසියෙන් වෙනස් කළ නොහැකි වගන්තියක් බවට පත් කරනවා. මූලික අයිතිවාසිකමක් මෙන් තනිවම සිට ගත හැකි ස්වාධින ශක්තියක් ඇති දූෂණ විරෝධ ආයතන ස්වාධීන ආයතන විනිවිදභාවය සහිත ආයතන ඇති කරනවා. අහිමි වූ මහජන දේපල සම්පත් හොරා කන ලද දේපල සම්පත් නැවත වරක් රටට ලබා ගන්නා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර හොරකම දූෂණය වංචාව ක්‍රියාත්මක කළ අය තරාතිරම් භේදයකින් තොරව අල්ලා හොරු හොරා කන ලද මුදල් නැවතත් රටට ලබා ගන්නවා.

සමහරෙක් මගෙන් අහනවා ෂෝට් කට් එකෙන් අගමැති වෙන්න ජනාධිපති වෙන්න තිබුණා කියලා. ඒ අයට කියන්න ඇත්තේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පෙර 10 වතාවක් අගමැති වන ලෙසත් 26න් පසු 61 වතාවක් අගමැතිකම ගන්න කිව්වා. මම කිසිම දවසක මගේ අභිප්‍රායන් ඉටු කර ගන්න මමත්වය මුල් කර ගත් තීන්දු ගන්නැ. හැම දෙයක්ම රට වෙනුවෙන්. දිගුකාලීනව මධ්‍ය කාලනීව කෙටි කාලිනව හිතල තීන්දු තීරණ ගන්නැ. ප්‍රතිපත්තිගරුකව යි ගන්නේ. මම ඇතුළු පිරිස කෙහෙලිය රඹුක්වැල්ල රැකගන්න කටයුතු නොකළ එක ගැන සතුටු වෙනවා. ඖෂධ වංචාව සිදු කළ දේශපාලනඥයන් රැකගන්න අත ඉස්සුවේ නැහැ අපි.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ගැන සත්‍ය හෙළිදරව් නොවන කාලයක එහි මහමොලකරුවන් රැකගන්න කටයුතු කළේ නැහැ. කලබල වෙන්න එපා. ඉවසන්න. නියත වශයෙන් අලුත්ම දේශපාලන බලවේගය 2020 ආරම්භ වූ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය අතිවිශිෂ්ඨ ජනවරමකින් බාර ගන්නවා. අවංක පිරිසුදු විනිවිදභාවයෙන් යුක්ත හොරකම නොමැති රජයක් තුළ මෙරට සංවර්ධනය වන නොනිදන රටක් බවට පත් කරනවා.

අපේ අරමුණ සුහුරු ගොවියා බිහි කිරීම. ගොවිතැනට නව තාක්ෂණය නව ක්‍රමවේද තුළ කායර්ක්ෂමතාව ප්‍රවර්ධනය කර ගොවිතැනේ ඵලදායිතාව වර්ධනය කරනවා. වාරි පද්ධති පුනරුත්ථාපනය කරන යුගය බිහි කරනවා. සුහුරු ගොවියා මෙන් ම ධීවරයා බිහිකරනවා. වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ඉහළ පොලිය දෙනවා. කම්කරු අයිතිය සුරකිනවා. ආයෝජකයාට ආයෝජන හිතකර පරිසරයක් ඇති කරනවා. අධ්‍යාපනය නවීකරණය කරන්නට යාවත්කාලීන කරන්නට සුහුරු අධ්‍යාපනයේ මූලික පියවර විපක්ෂයේ සිටම කරනවා. මේ වසර අවසන් වෙන්න පෙර රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන ගමන ආරම්භ කරනවා.

සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කරනවා. රෝග නිවාරණ රෝග ප්‍රතිකාර ශක්තිමත් කරනවා. රෝහල් 1160ක් පවුල් සෞඛ්‍ය කොට්ටාස 6918ක් තිබෙනවා. මේ සෞඛ්‍ය පද්ධතිය මේ යටිතල යාන්ත්‍රණය හරහා ශක්තිමත් කරනවා. තිරසර පරිසර සංරක්ෂණයට අනිවාර්යෙන් යොමු වෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරනවා.

අපි මැද මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරනවා. අන්තවාදී ලුම්පන් ධනවදයවත් අන්ත සමාජවාදී කොමියුනිස්ට් ක්‍රම පිළිගන්නැ. මානුෂීය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා යුක්තිය සාධාරණත්වය ඇති කරනවා.

නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කර තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට අප රට පත් කරනවා. දිස්ත්‍රික් 25ම සිලිකන් නිම්නයට සමාන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථ මධ්‍යස්ථාන ඇති කරනවා.

නව ව්‍යවසාය ලක්ෂ 10ක් බිහි කරනවා. සෑම රාජ්‍ය ආයතනයක් කර්යක්ෂම කරනවා. පාඩු ලබන ආයතන පවත්වාගෙන යාමට රාජ්‍ය පෞද්ගලික විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. ජාතික ආරක්ෂාවට බලපෑම් නොවන ආකාරයට ලාබ ලබන ආයතන ඇති කරනවා. අපේ රට වෙන්දේසි ලන්තයක් කරන්නේ නැහැ. දුටු දුටු තැන විකිනීම අලෙවිය ප්‍රසම්පාදන පැත්තකට දම ගජමිතුරු ධනවාදය කුප්‍රකට ලුම්පන් ධනවාදය උපයෝගී කර ගෙන ගජමිතුරන් රකින මේ කෙටි කාලයේ මුදල් හොරා කන යුගයක 3 වැනි විකල්පය මැද මාවත හරහා අපේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලනවා. අපි ඉදිරිපත් කර ඇති විනිවිදභාවයෙන් යුක්ත වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අප්‍රේල් මාසයේ මුල අගරදගුරු කාදිනල් හිමියන් ප්‍රමුඛ ඒ ආගමික නායකයන් හමුවෙලා අපේ වැඩසටහන් ඉදිරිපත් කරලා ඔවුන්ගේ අනුමැතිය අරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පිටුපස සිටින සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා පමණක් නොව මේ මිලේච්ඡ ත්‍රස්තප්‍රහාරයට වගකිවයුතු වසන් කළ සියලු දෙනා නිතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් දෙනවා.

රටේ මිනිමරු සංස්කෘතියට ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි රටේ කුඩු සංස්කෘතියට අන්තවාදයට ජාතිවාදයට ඉඩක් නැහැ. කිසිම ත්‍රස්තවාදයකට මුලපුරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ බහුතරයක් වූ සිංහල ප්‍රජාව සිංහල ජනතාව සම්බන්ධ කර ගෙන ඒ අය බංකොලොත් රටේ තිබෙන බරපත දේශපාලන ප්‍රශ්න සිංහල නොවන ජනතාව මුහුණ දෙන ගැටලුවලට තිරසර විසදුමක් ලබා දෙනවා. 13 ක්‍රියාත්මක කරන්න කැපවෙනවා.

අපේ විකල්ප දේශපාලන පක්ෂයක එක්තරා පුද්ගලයෙක් අපිව සම්බන්ධ කර ගෙන අභූත චෝදනාවක් කරා. ඒ තමයි සමගි ජන බලවේගය මහජන මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් සංතෝසම් අරගෙන කියලා. මත්පැන් බලපත්‍ර අරගෙන කියා. ඒක වැරදියි. මත්පැන් බලපත්‍ර වෙන්දේසිය යන්නේ මේ රජයයි. මේ පසුගිය කාලයේ අනීතිකව වැරදි ආකාරයට දේශපාලන වාසි තකා මේ ක්‍රියාත්මක කළ මත්පැන බලපත්‍ර සියල්ලක්ම අහෝසි කරනවාම යි. කවුරුහරි විරුද්ධ වෙනවා පාර්ලිමේන්තු නීති යටතේ මේවා අහෝසි කරනවා.

මැතිවරණයක් ලං වෙද්දි අපේ රටේ පළාත් රැසක මහා පරිමාණ ඉඩම් මංකොල්ල වෙනවා. මේක ක්‍රියාත්මක කරන කුප්‍රකට රජයේ දේශපාලනඥයන් තමන්ගේ හිතවතුන්ට අක්කර 50, 100 බෙදා දෙනවා. මම ඒවා ගන්න අයට කියනවා සමගි ජන බලවේග රජයක් තුළ නැවත ඒවා ලබා ගෙන ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගන්නවා. නව ව්‍යවසායක සංස්කෘතියට යොමු කරන්නත් සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අයට නිෂ්පාදන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ උද්‍යානවලට යොදා ගන්නවා.

පුරවැසිභාවය තිබුණත් ඉඩමක් නොමැති අයට ඉඩම් දෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක වැවිලි සමාගම්වල පෞද්ගලික තේ සමාගම්වල මුඩු ඉඩම් තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට 40%ක ඉඩම් අයිතිය තිබුණත් තේ සදහා 70%ක දායකත්වය දෙනවා. නමුත් රාජ්‍ය හා සමාගම් තේ ආයතන 60%ක ඉඩ කඩම් තිබිලත් 30%යි තේ හදන්නේ. ඒ නිසා මේ මුඩු ඉඩම් කුඩා තේ වතු ලෙස සංවර්ධනය කර ඉඩමක් නොමැති උඩරට පහතරට වැවිලි ප්‍රජාවට මෙන්ම තරුණ ප්‍රජාවට ඒ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ලෙස දියුණු වන්න මේ ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් බිහි කරනවා.

ඒ වගේම අපි ආත්මාර්තකාමී නොවි අපේ රටට ජාතික ධන අරමුදල් අවශ්‍ය යි. ජාතික ධන අරමුදල නිර්මාණය කරන්නේ දරවැන්ට හා මතු පරපුරට. එවන් වැඩසටහනකට යොමු වී ජාතික ධන අරමුදලක් ඇති කරනවා.

අපේ රටේ හරි අඩක් දැන් දුප්පත්. පැහැදිලිවම ජනසවියට එහා ගියා දුප්පත්කම තුරන් කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ඇති කරනවා. එහි දී නිවෙස් නොමැති ජනතාවට ඉඩමක් නිවසක් මහල් නිවාස ලබා දී නූතන මානව ජනාවාස ව්‍යාපෘතියක් දියත් කරන ජාතික ව්‍යාපෘතියක් ඇති කරනවා.

අපි මේ රටේ නගර රාජ්‍ය ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කරනවා. දිස්ත්‍රික්ක 25ම පළාත් 9ම ග්‍රාම සේවා වසම් 14022 කුඩා ගම් 53000 ගම් නගර කේන්ද්‍ර කර ගත් පහලින් ඉහළට ගලා එන දත්ත කේන්ද්‍රීය තොරතුරු කේන්ද්‍රිය ගම හදා නගරය හදා රට හදනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් මිරිකුණු රටේ ජනතාව මුදවා ගන්නවා. මේ අපේ පොරොන්දු පත්‍රයයි. ලක්ෂ 220 ජනතාවට කියන්න ඇත්තේ මේ පොරොන්දු කයිවාරු නොවේ. සංවර්ධනය විරුද්ධ පක්ෂයේ සිට කළේ අපි. ප්‍රථම වතාවට මහපොත්‍ළාවේ යථාර්ථයක් කළේ අපි. ඒ නිසා ජුලි 23 වැනිදාට මගේ පියාගේ ජන්ම දිනය සමරනවා. මේ 100 වැනි ජන්ම දින අවස්ථාව. විශේෂයෙන් ම අපේ අරමුණ සුහුරු රටක් ඇති කිරීම. ඒ ගමන තවදුරටත් ගෙන යන්න මේ 100 වැනි ජන්ම දිනය කේන්ද්‍ර කර ගෙන අලුතින්ම පරිපාලන දිස්ත්‍රික් 25 එක දිස්ත්‍රික්කයට පාසල් 100 තෝරා ගෙන ප්‍රේමදාස ජන්ම දින සියවස් සැමරුම සමරන්නේ තවත් පාසල් 2500ක් සුහුරු පාසල් බවට විපක්ෂයේ සිට පත් කිරීමෙන් බව කියනවා.

මම ආරාධනා කරනාව ආයාචනා කරනවා අපත් සමග සම්බන්ධ නොවුනු අයට. මතක තියා ගන්න අපි ප්‍රතිපත්තිගරුක යි. මුදලට ගන්න බෑ මාව. මගේ පක්ෂයේ අය කණ්ඩායම මුදලට වරදාන වරප්‍රසාදවලට ගන්න බැහැ. මේ රටේ ජනතාව දේශපාලනඥයො අලෙවි කරන අයට වෙළෙද භාණ්ඩයක් බවට පත්කරන විකල්ප දේශපාලන ප්‍රවාහයක් ඇති යුගයක තමුන්ගේ වරම ඡන්දය උපයෝගී කරගෙන මේ රටේ දුෂණය වංචාව වපුරන යුගයක තමන්ගේ පවුල් සාමාජිකයන් අලෙවි කර දේශපාලන පට්ටම් උදෙසා පොරබදන යුගයක මේ කෑදරකමට කුහකකමට මේ රටේ දේශපාලනය වසන් වුණ යුගයක අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රතිපත්තිගරුකව සමගි ජන බලවේගයේ දෑත් දිගු කරනවා. මිත්‍රත්වයේ හස්තය දිගු කරනවා. ප්‍රතිපත්ති කේන්ද්‍ර කර ගත්ත රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එකතු වන්න.

මම පොරොන්දු වෙනවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් 24 පැයේම 365ම රට ගොඩනගනවා. අලස නොව කඩිසර ආපස්සට යන රටක් නොව ඉදිරියට යන අභියෝග ජන බලයෙන් ජන සවියෙන් පරාජය කරන ප්‍රතිපත්තිගරුක බලවේගයක් අපි. විශාල පිරිසක් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අපිත් එක්ක එකතු වෙනවා. අපි ඇමතිකම් සභාපතිකම් පොරොන්දු වෙලා නැහැ. අපි එකග වුනේ රට ගොඩනගන ගොඩදමන ලක්ෂ 220 සුරකින පොරොන්දු පත්‍රිකාව යි. ඒ අයගේත් අපේක්ෂාව යහපත් දේශයක් ඇති කිරිම. අපිත් එක්ක එකතු වෙන්න. කර්මාන්ත පද්ධති ව්‍යාපෘතිවන රටක්. අපනයක කේන්ද්‍රිය දැනුම කේන්ද්‍රිය ආර්ථිකයකට යමු. එකතු වෙලා රට ගොඩගනිමු.”

පුවත්

දත්ත වංචා චෝදනා ඇති “එපික්”හි මෘදුකාංග පාස් පෝට් ඔෆිස්එකෙන් අයින් කරන්න නඩුවක් දාලා

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා එපික් ලංකා සමාගමේ මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූනි 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය ඉකුත් 08දා නියෝග කළේය.

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ සමනවිත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තර කරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන්ට නොතිසියැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාරිශ්‍රවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ. 

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස එපික් ලංකා සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තරකාර එපික් ලංකා සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගය ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම විද්‍යුත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සඳහා මේ වනවිටත් යොදා ගන්නා බවයි. 

ඉකුත් කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා දත්ත වංචාවක් සිදු වී ඇති බවට කරුණු වාර්තා වී තිබුණු බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

එම වාතාවරණය හමුවේ වග උත්තර කාල සමාගමේ තවදුරටත් භාවිතා කිරීම තුළින් දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එබැවින් මෙම කටයුතු සඳහා අදාළ මෘදුකාංගය භාවිතා කිරීම වළක්වාලන හතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටියේය.

මේ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ පෙත්සම්කරු වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව එම නඩුව විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණ මාධ්‍යට මෙසේ අදහස් දැක්වීය.

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා සිදු වූ දත්ත වංචාව සහ ඊට සමගාමිව මේ රටේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පාස්පෝර්ට් සදහා වන ටෙන්ඩරය ලබා දීමේ ප්‍රමාදය සහ එම මෘදුකාංග පද්ධතිය නිසි පරිදි රජයේ භාරයට පත් කර නොගැනීම සම්බන්ධයෙන් තමයි අපි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ. මිට පෙර ටෙන්ඩරය ලබා දුන් සමාගමම එම මෘදුකාංගයේ අයිතිය තහවුරු කර ගනිමින් ඒ සම්බන්ධ වන ගාස්තු අය කර ගැනීමට කටයුතු කිරීම නිසා මේ රටේ සාමාන්‍ය මහජනතාවට විදේශ ගමන් බලපත්‍රයක් සදහා ගෙවන්න වෙන මුදල වගේ විශාල මුදලක් පසුගිය කාලයේ දිගින් දිගටම ගෙවන්න සිද්ද වුනා. ඒ වගේම ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න සහගත සමාගමකට එකවර ටෙන්ඩර් ලබා දීම නිසා ඊට වඩා අඩු මුදලකට සහ වැඩි ප්‍රතිලාභ සහිතව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න තියෙන අවස්තාව අහිමි වුනා. නව රජය බලයට පත් වුණත් මේ පිලිබදව දිගින් දිගටම ගැටළු මතු වුණා. මිට පෙර කවුරුන් හෝ කෙනෙක් පාස්පෝර්ට් ටෙන්ඩරය ලබා දීමේදී මේ රටේ මහජනතාවට අවාසියක් වන විදියට කටයුතු කිරීම ගැන රජයටත් අපි කියනවා අපි අධිකරණ ක්‍රියමාර්ග ගන්නා අතරතුර මේ පිළිබද පසු විපරමක් කරලා කරුණාකරලා නිවැරදි ප්‍රසම්පාදන යටතේ මිල අඩු සමාගමකට අවස්ථාව ලබා දෙන්න ඕන.

ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවේදී දත්ත පරිපාලනය කල සමාගමටම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පරිපාලනය කරන්න අවස්තාව ලබා දීම ගැන නැවත පසුවිපරමක් කරලා කරුණාකරලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ රටේ මහජනතාවගේ දත්ත පරිගණකගත කිරීමේ අයිතිය අනිවාර්යෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ භාරයට අරගෙන අපේ රටේ ජනතාවගෙන් පාස්පෝර්ට් එකක් ගන්න විට ඒ සදහා අමතරව අය කරන මෘදුකාංග ගාස්තුව අය කර ගැනීම අත්හිටුවන්න කියලා එම දෙපාර්තමේන්තුවෙන් සහ විෂය භාර ඇමතිගෙන් ඉල්ලනවා.”

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩුවට මහ ආණ්ඩුවෙන් මුදල් නැහැ – IMF කොන්දේසියක්

Published

on

By

පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා මධ්‍යම රජයෙන් ලැබෙන අරමුදල් 2028 වසරේදී නතර කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි අනුව මෙසේ පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන අරමුදල් 2028 වනවිට නතර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය පැවැසුවාය.

පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීම සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට මුදල් වෙන්කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන මගිනි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අයවැය මගින් මෙම මුදල් වෙන්කරන අතර පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වෙත අදාළ අරමුදල් ලැබේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය ගෙවීම් ආරම්භ වන 2028 වසරේ සිට පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් නොලැබී යනු ඇතැයි අනාවරණය වේ.

2028 වසරේ සිට පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීම් නතර කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved