පුවත්

කිංග්ස් රෝහලේ වැරදි එන්නතකින් රෝගියකු මියයාමේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Published

on

නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී රෝගියකු මිය යෑමේ සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා කොළඹ අපරාධ කොට්ධාසයට නියෝග කළේය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයෙකු, රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකු හා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආරච්චිගේ දෝන ක්‍රිස්ටීන් ශානි ද සිල්වාගෙන් හා එම රෝහලේ එම එන්නත ලබාදුන් හෙද නිලධාරීන්ගෙන් සහ මරණකරුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරුන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇත.

නාරාහේන්පිට, ඇන්ඩර්සන් මහල් නිවාසවල පදිංචි පියල් හේමන්ත ගනේපොල නමැති අයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවත්වන විශේෂ විමර්ශනයට අදාළව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

අදාළ මරණකරු වන රෝගියා ඉකුත් 2023 මැයි 30 වැනිදා රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවත්, එම අවස්ථාවේදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු හට ‘Amoxicillin’ ඖෂධය අසාත්මික බව වාර්තා කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එසේ සටහන් කර තිබියදී අසාත්මිකතාව ඇති ඖෂධ වර්ගයේ ඖෂධයක් රෝගියා වෙත එන්නතක් මාර්ගයෙන් ලබාදීමෙන් අනතුරුව ජුනි 02 වැනිදා ඔහු මියගොස් ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය එම්. එස්. රුහුල් හක් විසින් අදාළ මරණයට හේතුව වශයෙන් මරණකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති ප්‍රතිජීවක අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවට වාර්තා කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා ඇත.

මෙම මරණයට අදාළ මූලික විමර්ශන කටයුතු නාරාහේන්පිට පොලිසිය සිදුකළ බවත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන කටයුතු පවරාගෙන සිදුකරගෙන යන බවත් අධිකරණයේදී අනාවරණය විය.

සබැඳි පුවත්

කිංගස් රෝහලේදී එන්නතක් අසාත්මික වී මියගිය රෝගියාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉල්ලයි 

Trending

Exit mobile version