Connect with us

පුවත්

කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය සිව් මහ නගර වෙයි

Published

on

භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගෙන ඇතැයි වාර්තා වේ.

එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඔහු පෙන්වා දෙන්නේ මෙම නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සදහා අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දී ඇති බවයි.

මෙරට ප්‍රධාන වාණිජ හා මූල්‍ය නගරය ලෙස කොළඹ නගරය හදුනා ගෙන තිබේ. 

ඉදිරි වසර 8 සදහා කොළඹ නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත. 

ඒ යටතේ කිරිමණ්ඩල මාවත නගර සංවර්ධන ව්‍යාපෘතිය හා නාගරික පුනර්ජීවන නිවාස ව්‍යාපෘති දැනමටත් ක්‍රියාත්මක කර තිබේ.

බොරැල්ල නගර සංවර්ධන සැලසුම සකස් කරමින් පවතින බවද වාර්තා වේ.

හම්බන්තොට නගරය සංවර්ධනය කිරීම සදහා සැකසුනු හම්බන්තොට විසල් නගර සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කිරීමට නියමිත බවද පැවසේ. 

එම සැලැස්ම යටතේ හදුනා ගන්නා ලද ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, වරාය, මත්තල ගුවන්තොටුපල, වියළි කලාපීය උද්භිද උද්‍යානය සහ පරිපාලන සංකීර්ණය මේ වන විටත් ඉදිකර අවසන්ව තිබේ. 

නව ව්‍යාපෘති ලෙස බැංකු කලාපීය ව්‍යාපෘතිය සහ රෝහල් චතුරස්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.  

ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වාණිජ නගරයක් ලෙස හදුනා ගෙන පළාත් පාලන ආයතන කිහිපයක් ඇතුලත් වන පරිදි ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම සැකසීම මේ වන විට ආරම්භ වී තිබේ. 

ඒ අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය, තෙල් පර්යන්තය සංවර්ධනය සහ කප්පල්තුරේ කර්මාන්ත කලාපය සංවර්ධනය කිරීමට අපේක්ෂිතයි. ඊට අදාලව අදාල ආයතන සමග සාකච්ඡා කර සැලසුම් සකස් කිරීමට කටයුතු යොදා තිබේ.

යාපනය අර්ධද්වීපය සදහා ද සංවර්ධන සැලැස්මක් මේ වන විට සැකසෙමින් පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මේ යටතේ කන්කසන්තුරේ නගර සංවර්ධනය, වරාය සංවර්ධනය, පලාලි ගුවන්තොටුපල පහසුකම් පුළුල් කිරීම, කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ සංවර්ධනය හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.  

මෙම සිව්මහ නගර සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව දඹුල්ල, නුවර හා ගාල්ල සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබේ. ගාල්ල සංවර්ධන සැලැස්ම ඒ යටතේ ගැසට් මගින් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ගාල්ල කොටුව තැපැල් කාර්යාලය ප්‍රතිසංවර්ධනය කිරීම, ඕලුවාගොඩ පාරිසරික කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය සහ ගාල්ල මධ්‍යයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ද දැනටමත් ක්‍රියාත්මකයි.

නුවර සංවර්ධනය යටතේ බෝගම්බර සංචාරක හා සංස්කෘතික සංවර්ධන මධ්‍යස්ථානය, ගැටඹේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණය, කටුගස්තොට තොග වෙළද මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය, ගන්නෝරැව අධ්‍යාපනික කේන්ද්‍රගත සංවර්ධන ව්‍යාපෘති සහ තවත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කිහිපයත් හදුනා ගෙන තිබේ.

දඹුල්ල සංවර්ධන සැලසුම ලබන වසරේ මුල් කාර්තුව තුළ ගැසට් කිරීමට නියමිතයි. මේ යටතේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, සීගිරිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, දඹුල්ල ඉනාමළුව සීගිරිය හරහා හබරණ දක්වා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම, හබරණ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, ගලේවෙල විකල්ප මාර්ග ව්‍යාපෘතිය සහ නාවුල මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීම සිදු කෙරෙනු ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පවතින ආර්ථික තත්ත්වය මත තාවකාලිත පසුබෑමකට ලක්ව ඇති මෙවැනි මහා පරිමාණ ව්‍යපෘති ලබන වසර තුළ කඩිනම් කරන බවයි. ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේද එකගත්වය පළව ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

(ලංකාදීප)

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved