පුවත්

ගෝඨාගේ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක කුඩු සමග අල්ලයි

Published

on

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමාන්ඩෝ සෙබළකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමග මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු නැවත රාජකාරියට අනුයුක්ත කිරීමේදී විනය කඩ කිරීමේ හේතු ගණනාවක් හේතුවෙන් කොමාන්ඩෝ බළකායෙන් ඉවත්කර තිබෙන බව පැවසෙන සැකකරු පසුව පාතාලය හා සම්බන්ධතා පවත්වමින් මත්කුඩු ජාවාරමට යොමුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

කොමාන්ඩෝ භට පුහුණුවේදී එකල දක්ෂ සෙබළුන් දස දෙනා අතර සිටි 28 හැවිරිදි සැකකරු අති දක්ෂ වෙඩික්කරුවෙකු බවත්, මොහු පාතාලය හා සම්බන්ධ වී ඝාතන සිදු කළේද යන සැකය මත ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් පොලිසිය පවසයි.

දෙදරු පියකු වන සැකකරු පදිංචිව සිටි නෙල්ලිගල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 ක් පොලිසිය සොයා ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් රැඳවුම් නියෝගයක් මත සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ සිදු කරයි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version