විදුලි බිල සංශෝධනය දින හතළිස් හයක් ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ රුපියල් කෝටි තුන්දහස් දෙසීයක පාඩුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් අය කරගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
2023 ජනවාරි 01 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.
එහෙත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක විවිධ හේතු කියමින් එම සංශෝධනය පෙබරවාරි මාසය දක්වා කල් දැමූ බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන ජයසේකර මහතා සඳහන් කරයි.
ඒ අනුව 2023 ජනවාර පළමු වැනිදා සිට පෙබරවාරි 15 දක්වා දින හතළිස් හයක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 3200ක පාඩුවක් සිදුවී ඇතැයි කියන විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, එම පාඩුව සිදු කර ඇත්තේ මහජන උපයෝගී කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායකගේ තනි කැමැත්ත මත යැයිද සඳහන් කරයි.
එලෙස විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ පාඩුව කඩිනමින් පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමැතිවරයා සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ ආණ්ඩුවේ දැනුම් දීම මත එම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් වාර්තා වෙයි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරය මේ වන විට පුරප්පාඩු වී පවතින අතර නව සභාපතිවරයකු ව්‍යවස්ථාදායක සභාව විසින් ඉදිරියේදී පත් කිරීමට නියමිතය. ව්‍යවස්ථාදායක සභාව ලබන ජුනි 05 වැනිදා රැස්වීමට නියමිත අතර එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.
මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ලබන ජුලි 01 වැනිදා සිදු කිරීමට නියමිත බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව ලබන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයේදී ගෘහස්ථ පාරිභෝගිකයන්ට 23%කින්, ආගමික ස්ථානවලට 23%කින්, හොටෙල් ඇතුළු කර්මාන්ත අංශයට 43%කින් විදුලි බිල අඩු කරන බවද විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මූලාශ්‍රය – අරුණ