ලබන ජනවාරියේ සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“ජනවාරි සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කරනවා,” යැයි ඔහු පැවසීය.
තවද, කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසීය.
ඉන්දීය ණය ආධාර යටතේ සංඥා පද්ධතිය නවීකරණයට අදාළව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවත්, කැලණි මිටියාවත දුම්රිය මාර්ගයේ වේග සීමාවන් ඉවත් කර වේගය වැඩි කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මේ මස මුල් සතියේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දුම්රිය සහ ලංගම ප්‍රවේශ පත්‍ර අළෙවිය විද්‍යුත් කාඩ් පත් ක්‍රමය අනුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා, වැඩිදුරටත් පැවසුවේ “මුදල් භාවිතයෙන් තොරව විද්‍යුත් කාඩ්පතකින් හෝ QR ක්‍රමවේදයකින් ගනුදෙනු කරන විට 50%කින් මෙම ආයතනවල ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙන,” බවයි.