පුවත්

ජපානයෙන් ජයවර්ධනපුර මහ රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

Published

on

මෙරට සිටින ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් අද (06) දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක් සිදුකර තිබේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු බැඳීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් නංවාලීම සඳහා ජපානයේ ඇති සාමූහික කැපවීම අවධාරණය කළ මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය – වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක් විය.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත මෙම විශේෂිත වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම මෙම සුවිශේෂී අවස්ථාව මගින් සනිටුහන් කරයි. භාර දුන් උපකරණ අතර නිර්වින්දන මෙවලම් කට්ටලයක්, ස්වයංක්‍රීය පරාවර්තක මාපකයක්, දැඩි සත්කාර ඒකක ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක්, ස්ලිට් ලාම්පු තුනක්, ඇඳ අසල තබන නිරීක්ෂණ මොනිටර පහක්  සහ ශල්‍ය උපකරණ කට්ටලයක් ඇතුළත් වේ.

මෙම අවස්ථාවේ දී තානාපති මිසුකෝෂි මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ප්‍රගමනය කිරීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරමින්, අද දින පැවැත්වෙන මෙම උපකරණ වල මූලික කාණ්ඩය භාරදීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වන” බවයි. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායකත්වය දැක්වීම මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සුහදතාවය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අඛණ්ඩ අවශ්‍යතාව හවුල් දැක්මක් සහිතව ස්ථිරවම ජපානය තුළ පවතින බව ජපන් තානාපති කාර්යාලය පවසයි.

අද දින සිදුවෙන මෙම උපකරණ ප්‍රදානය නියෝජනය කරන්නේ නොබෝ දිනකින් සිදුවෙන විශාල ප්‍රදාන ව්‍යාපෘතියක ආරම්භය බවත්, ඉදිරියේදී අතිරේක වෛද්‍ය උපකරණ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කෙරෙන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version