ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි.
මෙරට ජාත්‍යන්තර කාන්තා දින සැමරීමේ ප්‍රධාන උත්සවය අද පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත්වීමට නියමිතය.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇති මෙම උත්සවය, “ඇය දැයේ අභිමානය” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දුන් සුවිශේෂි කාන්තාවන් සිවුදෙනෙකු මෙහිදී ඇගයීමට ලක්වනු ඇත.
ඒ අනුව, ප්‍රවීණ ගායන ශිල්පිණි විශාරද සුජාතා අත්තනායක, ප්‍රවීණ රංගන ශිල්පිණි ශ්‍රියානි අමරසේන, ප්‍රවීන ලේඛිකා අනුලා ද සිල්වා මෙන්ම දෑත් හා එක් පාදයක් අහිමිව තිබියදීත් තම එකම පාදයෙන් ලියමින් අධ්‍යාපනයේ ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙහිදී ඇගයීමට ලක් වීමට නියමිතය.
තවද, දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් සාර්ථක ව්‍යවසායකයින් මෙහිදී ඇගයීමට ලක්කෙරෙනු ඇත.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටින්නේ මෙරට ජනගහණයෙන් අඩකටත් වැඩි ප්‍රතිශතයක් වන කාන්තා නියෝජනය, ලොව සංවර්ධිත රටවල සමාජ සංවර්ධන දර්ශක අතරට පැමිණ සිටීම සතුටට කරුණක් බවයි.