Connect with us

පුවත්

ටිරාන්ටත් විශ්වාසභංගයක් ගේන බව පොහොට්ටු මන්ත්‍රී කියයි

Published

on

මසක කාලයක් ගතවීමට පෙර රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාටද එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී – ලලිත් එල්ලාවල මහතා පවසයි.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ඔහු කියා සිටියි.

“රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ. එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරනවා,” යැයි මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේවෙතත්, පසුගියදා මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනමටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

සබැඳි පුවත් :

පාතාලය මර්දනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – ටිරාන්

පුවත්

පාසැල් සිසුන් වෙනුවෙන් ගත් කැබිනට් තීරණ

Published

on

By

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහාය.

එමෙන්ම පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ වනවිට සියලුම රජයේ පාසල් වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 8,956ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5 ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

පුවත්

කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ

Published

on

By

රජය මඟින් ලිඛිතව දැනුම්දීමක් සිදුකරන තෙක් නොසිට අවශ්‍ය නම් නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

“මේ තියෙන්නේ 1886 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත, මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට පාර්ලිමේන්තු ගණනාවක් නියෝජනය කළා මේ පනත් ක්‍රියාත්මක කරපු, ලංකාවේ ජනාධිපතිවරයා විදියට හිටියා හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුගේ හෝ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවස්ථාවට උචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ හිමි විය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුව ගෙවිය යුතුයි පනතේ තියෙනවා. 

මං හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ.”

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග (Update)

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියෝඅග කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.


(පෙර පුවත: 2025 ජනවාරි 21, ප.ව.2:03)

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අද (21) උදෑසන , පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබිණි.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට පැමිණෙන අතරතුරදී රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇති බව සඳහන් වේ.

එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇත . එම අවස්තාවේදී ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති බව සඳහන්ය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved