පුවත්

තේ පොහොර සහනාධාරය ඉහළට

Published

on

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කර තිබේ.

දැනට අප රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම මින් ඉලක්ක කර තිබේ.

මින් පෙර තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළද තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ නිසා තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර, දැනට රාජ්‍ය පොහොර සමාගම විසින් රුපියල් 2000කින් අඩු කරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කරනු ඇත.

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබා දීමට සැළසුම් කර තිබේ.

මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාවිසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

Trending

Exit mobile version