පුවත්

දර්ශණ හඳුන්ගොඩට එරෙහි වාරණය දික් කරයි

Published

on

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාළිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (10) නියෝග කළේය.

ඒ එම පැමිණිල්ල අද (10) කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුණු අවස්ථාවේදීය.

එහිදී වගඋත්තරකාර දර්ශන හඳුන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් මහජනතාවට තොරතුරු දැනගැනීමේ අරමුණින් එම වාර්තාව ඉදිරිපත් කළ බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීම් කළේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින තෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු හා එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියක් විසින් ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

(ලංකාදීප)

Trending

Exit mobile version