Connect with us

පුවත්

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් (Update)

Published

on


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද උදෑසන 9.30ට එහි නියෝගය ප්‍රකාශයට කලේය.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ‌ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන්ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතිඥ බිනුර ගුණරත්න මහතාත්, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතාත් කරුණු දැක්වීය.

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් පෙන්වා දෙන ලදී.

එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේය.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මඟින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවය.

(පෙර පුවත : 2024 ජුලි 24 පෙ.ව. 09:34)

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (24) යළි සලකා බැලීමට නියමිතය.

එහිදී අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කලේය.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද යන්න අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරන ලදී.

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණි.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් පරිබාහිර වූ ස්වාධීන ආයතනයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම ආයතනයේ තීරණවලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ නොහැකි අතර මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් විධිමත් ආකාරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කළ අතර එය නීත්‍යානුකූල ආකාරයට එම සභාව විසින් අනුමත කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අසා දැනගත් තොරතුරු සහ පදනම් විරහිත කරුණු මත තීරණ ගැනීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කර සිටියේය.

පුවත්

ඇල්පිටියට 9 දෙනෙකු ඇප තබයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් බාර ගැනීම අගෝස්තු 26 වැනි දින සිට ආරම්භ විය.

ඒ අනුව එදින සිට ඊයේ (10) දිනය දක්වා 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙලෙස ඇප තැන්පත් කාර තිබේ.

Continue Reading

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved