Connect with us

පුවත්

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් (Update)

Published

on


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද උදෑසන 9.30ට එහි නියෝගය ප්‍රකාශයට කලේය.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ‌ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන්ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතිඥ බිනුර ගුණරත්න මහතාත්, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතාත් කරුණු දැක්වීය.

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් පෙන්වා දෙන ලදී.

එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේය.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මඟින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවය.

(පෙර පුවත : 2024 ජුලි 24 පෙ.ව. 09:34)

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (24) යළි සලකා බැලීමට නියමිතය.

එහිදී අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කලේය.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද යන්න අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරන ලදී.

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණි.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් පරිබාහිර වූ ස්වාධීන ආයතනයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම ආයතනයේ තීරණවලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ නොහැකි අතර මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් විධිමත් ආකාරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කළ අතර එය නීත්‍යානුකූල ආකාරයට එම සභාව විසින් අනුමත කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අසා දැනගත් තොරතුරු සහ පදනම් විරහිත කරුණු මත තීරණ ගැනීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කර සිටියේය.

ක්‍රීඩා

සචිත්‍රට නඩු වැටෙයි

Published

on

By

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

පුවත්

සමෘද්ධි බැංකු විගණනයට නව පනත් කෙටුම්පතක්

Published

on

By

සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතට අනුව සමෘද්ධි ප්‍රජාමුල බැංකුවල ගිණුම් ජාතික විගණන පනතේ විධිවිධාන යටතේ විගණනය කිරීම සඳහා යෝජනා කර තිබේ.

ඊට අමතරව සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා ද අදාළ පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව සමෘද්ධි සංශෝධන පනත ලෙස නම් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved