Connect with us

පුවත්

ධනුෂ්කට පොලිස් වාර්තාවේ ඇති චෝදනා මෙන්න!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරෙහිව ඔස්ට්‍රේලියානු කාන්තාවක් නගන ස්ත්‍රී දුෂණ චෝදනා පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය ඊයේ (09) අවසර ලබා දී තිබේ.

සිද්ධියේ තොරතුරු හෙළිදරව්කිරීමට නිව්ස් කෝපරේෂන්, ඒ.බී.බී. ,සිඩ්නි මෝනිං හෙරල්ඩ් සහ චැනල් 9 ඇතුළු මාධ්‍ය කර තිබූ ඉල්ලීමට අනුව මෙසේ අදාළ තොරතුරු හෙළිකිරීමට අවසර ලැබී ඇත.

සිඩ්නි පොලිසිය විසින් මෙම තොරතුරු මාධ්‍යයට විවෘත නොකරන ලෙස ඉල්ලා තිබුණේ චෝදනා ඉදිරිපත්කරන කාන්තාවගේ ආරක්ෂාව සහ ඇය අපහසුතාවට ලක්වීම වැළැක්වීමට යැයි පවසමිනි.

මෙම සිද්ධිය පිළිබඳව නිව්ස් ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය විසින් තොරතුරු රැසක් හෙළිකර ඇත.

ඒ අනුව සිඩ්නි නුවර රෝස් – බේ හී පදිංචි 29 හැවිරිදි එම කාන්තාව සමගින් ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදුම හරහා ධනුෂ්ක ගුණතිලක මුල්වරට සම්බන්ධ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදාය.

ඉන්පසුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඔස්සේ ඔවුන් අතර සංවාද සිදුව තිබේ.

සිඩ්නි පොලිස් වාර්තාවට අනුව මෙම කාන්තාවට තමා බැලීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක ඇවිටිලි කර ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වී තිබේ.

කෙසේවෙතත් පසුව සිඩ්නි නුවරදී දෙදෙනා හමුවීමට එකඟ වූ බව සඳහන් වෙයි.

ඒ අනුව සිඩ්නි නුවරදී Circular Quay හී ඔපෙරා අවන්හලේදී නොවැම්බර් දෙවැනිදා රාත්‍රී 8.20ට පමණ දෙදෙනා හමුවී තිබේ.

අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබේ.

ඉන්පසු පීසා අවන්හලකට ගොස් රාත්‍රී භෝජනය ලබාගෙන ඇති අතර ඔවුන් කාන්තාවගේ නිවසට යාමට මගී යාත්‍රාවකට ගොඩවීමට තොටුපල වෙත ගොස් ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

එලෙස මගී යාත්‍රාව පැමිණෙන තුරු සිටින අතරතුරත් යාත්‍රාවේදීත් ධනුෂ්ක තමාව බලහත්කාරයෙන් සිපගත් බව ඇය පවසා තිබේ.

සිඩ්නි පොලීසිය අධිකරණයට වාර්තාකර ඇති අකාරයට සඳහන් වන්නේ නිවසට පැමිණි වහාම ධනුෂ්ක ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ බවය.

හදිසි නොවන්නැයි තමා ඇවිටිලි කළද ධනුෂ්ක එය ප්‍රතික්ශේප කළ බවත් අදාළ කාන්තාව පවසා තිබේ.

කෙසේ නමුත් පසුව අනාරක්ෂිත අයුරින් ධනුෂ්ක තමා සමග ලිංගිව හැසිරුණු බවත් එම කාන්තාව සඳහන් කර තිබේ.

එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්කගේ හැසිරීම්වලින් තමා දැඩි කායික පීඩාවකට ලක් වූ බවය .

එහිදී තමා දැඩි කම්පනයකට ලක් වූ බවත් අධික ශීතලකට නිරාවරණය වූ බවත් ඇය සඳහන් කර තිබේ.

කුලී රථයක් තමන් ලවා ගෙන්වාගෙන රාත්‍රී 1ට පමණ ධනුෂ්ක සිය නිවසෙන් නික්මුණු බවත්, පසුදින උදෑසන අවදි වූ තමාට ශාරීරිකව ඇතිවූ අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවත් මෙම කාන්තාව පැවසූ බව සඳහන්ය.

සිඩ්නි නුවර බොන්ඩි (Bondi) පොලිස් ස්ථානය වෙත ගිය තමා ප්‍රකාශයක් ලබාදී ධනුෂ්ක සමග හුවමාරු කර ගත් පණිවුඩ, දුරකතන සංවාද සහ ඡායාරූප තොරතුරු ලබා දුන් බවත් ඇය සඳහන් කර තිබේ.

සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ගිය ඇය ලිංගික අඩත්තේට්ටම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට භාජනය වී ඇති අතර මොළයේ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇත්තේ තමාට හුස්ම සිරවීමකට ලක් වීමෙන් හානියක් වී ඇත්දැයි පරීක්ෂා කිරීමටය.

ඊයේ (09) සිඩ්නි අධිකරණය හමුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් හරහා පෙනී සිටි ධනුෂ්ක මෙම කාන්තාව සමග ලිංගිකව හැසිරුණු බව ප්‍රතික්ෂේප කර නොමැත.

කෙසේ වෙතත් එහිදී තමා, ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට සහ ලිංගික ක්‍රියාවලිය සඳහා කාන්තාවගේ කැමැත්තක් නොතිබූ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප වූ අතර නැවත නඩු විභාගය පැවැත්වීමට ඇත්තේ ලබන වසරේ ජනවාරි 12 වැනිදාය.

ඒ අනුව ඔහුට ඉදිරි මාස 2 රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

එහෙත් ඊට පෙර ධනුෂ්ක වෙනුවෙන් ඇප ලබාගැනීමට තවත් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතීඥයන් සූදානමින් සිටී.

මේ දක්වා ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් මහතා ඉවත් කර, සිඩ්නි හී අපරාධ නඩු සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති නීතීඥ සෑම් පරරාජසිංහම් මහතාගේ සේවය ලබාගැනීමට ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශවය තීරණය කර තිබේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩව පෙරේදා (08) ක්‍රීඩා අමාත්‍යංශය වෙත කැඳවා තිබුණි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ඉදිරියේ ඔවුන් කරුණු දක්වා ඇති බවය.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රථමයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටවගොස් ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැමිණියේ ඉන් අනතුරුව බව පැවසේ.

මේ අතර ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු ප්‍රධානී චානක සේනාරත්න මහතා පවසන්නේ පැමිණිලිකාර පාර්ශවයේ ලේඛනවල පවතින පරස්පරතා සහ තවත් සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන බැලීමේදී නඩුව ධනුෂ්ක ගුණතිලකට ජය ගත හැකි බවට විශ්වාසයක් පවතින බවය.

පුවත්

නලීම් ගේ මන්ත්‍රී පුටුවට වසීත් නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එස්.එම්. නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, වසීත් මහතා පත් කර ඇත්තේ එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.

Continue Reading

පුවත්

කහවත්ත උණුසුම් : පොලිසිය හා ගම්වාසීන් ගැටෙයි

Published

on

By

කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත  සුරන්ජන  තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පිරිස විසුරුවීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය.

තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු තිදෙනකු ද එම ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල්ට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැමින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු කහවත්ත පලන්සූරයගම පවුලේ සුසාන භූමියේදී අද සවස සිදු කිරීමෙන් පසු එම කටයුතු අවසන් කර ආපසු නිවෙස් බලා යමින් සිටි ගැමියන් හා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් කණ්ඩායමක් අතර ගැටුමක් නිර්මාන්‍ය වී ඇත. ගැමියන් චෝදනා කර ඇත්තේ ඝාතනයට පෙර මෙම සිද්ධියට මැදියත්වන ලෙස ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොදැක් වූ පොලිසිය ඝාතයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බව චෝදනා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය හා ගැමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර  ගැමියන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ එම පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගැමියන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවෙසට දෙසට පා ගමින්  ගමන් කර ඇත.

එම පිරිසගේ ගමන නැවැත්වීමට ඒ අවස්ථවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළිමර්ධන පොලිස් කණ්ඩායම් උත්සහා කර ඇති අතර ඒ අවස්ථාවේදී ද ගැමියන් හා පොලිසිය අතර යළි ගැටුමක් නිර්මාණය වී ඇත.

එම පිරිස ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියකට ද ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග කලබල ලෙස හැසිරිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඒ අවස්ථාවේ ගැමියන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

(ලංකාදීප)

Continue Reading

පුවත්

අපේක්ෂා රෝහලට නව පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්

Published

on

By

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

එහි දී සෞඛ්‍ය‍ හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  අදහස් දක්වමින්  රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60  ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අ‍ලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට  ද  කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා  ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී  ය.

මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම්  35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර  (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින්  පිළිකා රෝගීන්ගේ   ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි  යම්  සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. 

රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක්  වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල්  ළමා වාට්ටු  සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර  ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි  සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති  හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව  රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.

(news.lk)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved