Connect with us

පුවත්

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Published

on

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා වෙත අදාල පත්වීමේ ලිපිය නිල වශයෙන් අද දින (21) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කර ඇත.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා, 1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර, 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1992 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, 1997 වර්ෂයේදී ජලතරණය සම්බන්ධ විශේෂඥතාව ඉන්දියාවේ ජලතරණ මෙහෙයුම් පාසල වෙතින් ලබා ඇති අතර, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2021 වර්ෂයේ ජූලි මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික යුද පුහුණු විද්‍යාලයෙන් 2005 වර්ෂයේ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2017 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. තවද, ඔහු චිනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් Military Science and Security Studies පාඨමාලාව හදාරා ඇති අතර, ඔහු 2016 වර්ෂයේදී ඉන්දියාවේ ගෝවා හි පිහිටි නාවික යුද පුහුණු විද්‍යාලයෙන් කලාපීය සමුද්‍ර ආරක්‍ෂක (Regional Maritime Security) පාඨමාලාවද සාර්ථකව හදාරා ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් දෙවතාවක් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ඔහුගේ අගනා සේවය හා නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. එමෙන්ම, ඔහුගේ දක්ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් අවස්ථා හතරකදී (04) ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, කොමදෝරු මුහුදු පුහුණු හා වෙළඳ නාවික පුහුණු පාසලේ ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කර ඇත.

එමෙන්ම, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. තවද, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක දක්‍ෂ ස්කොෂ් ක්‍රිඩකයෙකු වන අතර, පළමුවන ශ්‍රේණියේ ස්කොෂ් පුහුණුකරුවෙකු හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරයෙකුද වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved