Connect with us

පුවත්

“පාඩමක් ඉගෙනගන්නවා නම් අරගලයෙන් ඉගෙන ගන්න තිබුනා”

Published

on

මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයෙන් බව  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පසුගිය දා (02) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද “කුරුණෑගල තරුණ රැලිය” අමතමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතු බවය.

එහිදී අනුර දිසානායක මහතා පල කල අදහස්,

“මේ ඉන්නේ ඉතාමත් ප්‍රබල බලපෑමක් කළ හැකි තරුණ පරම්පරාවක්. මේ පරම්පරාව ලෝකයට විශාල පණිවිඩයක් හා අත්දැකීමක් දුන්න පිරිසක්. අපේ පැරණි දේශපාලකයන්ටත්, දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිවලටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෑත ඉතිහාසයේ විශාල ස්වභාවික ජන නැගිටීමක් සිදුවුණා. පසුගිය දශක කිහිපය ඇතුලේ කොතනකවත් ජනතාව ස්වභාවික ලෙස සංවිධානය වෙලා පාරට බැහැලා, එහි පාලකයන් පලවා හැර නැහැ. මැදපෙරදිග යම් යම් රටවල්වල සිදුවීම් තිබුණත් ඒවා සිදුවුණේ යටි අරමුණු සහ යටි මැදිහත්වීම් අනුව. අපේ රටේ ස්වභාවිකව ජනතාව නැගිට්ටා. මේ ජනතාව අවදි කිරීමේ විශාල කාර්යභාරය කළේ වත්මන් තරුණ පරම්පරාව. වර්තමාන ලෝකය අපේ කාලයේ තිබුණු පරම්පරාව නොවෙයි. 1995 සිට 2009 දක්වා අවුරුදු 15 ඇතුළත ඉපදුණු පරම්පරාව ඉෂෙඞ් පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ඉන්පසු පරම්පරාව ඇල්ෆා පරම්පරාව කියලා හඳුන්වනවා. අපේ පරම්පරාව එක්ස් රම්පරාව 1965-1979 අතර ඉපදුණු අයයි. මෙතනට රැස්වී සිටින බොහෝ දෙනා අයිති වෙන්නේ ඉෂෙඞ් පරම්පරාවටයි. අපේ රටේ තිබෙන ගෘහ ඒකක ලක්ෂ 52න් ඒකක ලක්ෂ 30ක ඉෂෙඞ් පරම්පරාවට අයත් තරුණයෙක් හෝ තරුණියක් ජීවත් වෙනවා.

ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනස්, ගෙදරට බලපෑම් කළ හැකි ඩිජිටල් ලෝකයේ ජීවත් වෙන අයයි. ඒ පරපුර අපේ පරපුරේ තිබුණු සීමිත අවශ්‍යතා සහ ඉතා කුඩා ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. පෑනේ මිතුරන්, ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම්, තැපැල් පත්, මූලික කරගත් පරම්පරාවෙන් වෙනස් වී ඩිජිටල් ලෝකයේ සැරිසරණවා. අපේ පරම්පරාව උදේ නැගිටලා මුලින්ම තේ එකක් බොනවා ඒ වෙනුවට ඔබේ පරම්පරාව මුලින්ම ෆෝන් එක අතට ගන්නවා. ඔබට වේගයෙන් තොරතුරු ගලාගෙන එනවා. අපට ලැබුණේ පෙරණ ලද තොරතුරු. පත්තරෙන් ලැබෙන තොරතුරුවලට ප්‍රතිචාර දක්වන්න තිබුණේ “කතෘට ලියුම්” තුළින්. ඔබට තොරතුරක් ලැබෙන විටම ඔබේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. අපි ඉතා කුඩා ලෝකයක තරුණ විය ගත කළත් ඔබ විශ්ව ලෝකයේ ගත කරනවා. 2022 තරුණ නැගිටීමට මූලික වුණේ මේ ඩිජිටල් විශ්ව ලෝකයයි. නමුත් ඒ අරගලයේ තිබුණු ඇත්ත ආධ්‍යාත්මික බැඳීම සහ ඔබ වෙත තිබුණු නැගීගෙන එන තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් ඛේදජනක අන්තයකට ගෙන ගියා. ඔබේ පරම්පරාව දේශපාලන පක්ෂ සමග සමීපව ගැටගැසී නොසිටියත් අපේ පරම්පරාවට වඩා අරමුණුවලින් දේශපාලනය සමග බැඳීම් තිබෙනවා. ඔවුන්ට යහපත් දේශපාලනයක අපේක්ෂාවන් තිබෙනවා.

නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන, හොරකම් නැති රාජ්‍යයක් අපේක්ෂා කිරීම, සාධාරණ සමාජයක් වගේ සක්‍රීය පොදු දේශපාලන උවමනාවක යෙදී සිටින නිසයි, අරගලයට ඔබව කැඳෙව්වේ. තරුණ පරම්පරාවේ කැකෑරෙන වේදනාව තුළින් පැන නැගුණු අරගලය පාලකයන් හැඳින්වූයේ කුඩුකාරයන්ගේ වැඩක් කියලයි. මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයේ හරයෙන්. නමුත් ඔවුන් මුග්ධ, සාහසික ලෙස කුඩුකාරයන්ගේ නැගිටීමක් ලෙස හැඳින්වූවා. තවදුරටත් කීවේ ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ නැගිටීමක් කියලා. අඩුම තරමින් එවැනි විශාල ජනතා නැගිටීමකින් වත් මේ පාලකයන් පාඩම් ඉගෙන නැහැ. ඈත ගම්මානයක ජීවත්  වුවත් ගෝල්ෆේස් එකේ අරගලය සමග අධ්‍යාත්මික බැඳීමක් තිබුණා. පාලකයන් අඩුම ගානේ ඒ ආධ්‍යාත්මික බැඳීමවත් තේරුම් නොගෙන තමන්ගේ බලය යොදවමින් මර්දනය දියත් කරන්න උත්සාහ කළා. ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ සේවකයෙකුට පහරදීම, තොණ්ඩමන් ඇමතිවරයා ආයතනයකට කඩා පැන පාලන අධිකාරිය බිය වැද්දීම, කළ හැකි ආකාරයෙන් ඔවුන්ගේ බලය තාවකාලිකව ස්ථාපිත කරගෙන පරණ සතාට එළියට එන්න ඉඩහැර තිබෙනවා.

ජනතාවගෙන් කොල්ලකාගත් දේපළ නැවත පවරා ගන්න කියන සටන් පාඨය අරගලයේ තිබුණා.

ඒ වගේම නීතිය එකලෙස ක්‍රියාත්මක නොවීම ඩයනා ගමගේ ඇමතිවරියගෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඇයට පුරවැසිභාවය නැති බව වඩාත් හොඳින් දන්නේ ඩයනාමයි. එහෙම තිබියදී පාර්ලිමෙන්තුවට ඇවිත් රාජ්‍ය අමාත්‍යවරියක් වී සිටින්නේ නීතියට වඩා උඩින් ඉන්නවා කියන හැඟීමෙන්. ඔබට පුරවැසි හැඳුනුම්පත නොතිබුණොත් කෙතරම් පීඩාවකට පත්වෙනවාද, නමුත් ඇයට රනිල් වික්‍රමසිංහගේ රැකවරණය තිබුණා. අවුරුදු හතරක් රැක ගත්තා. මිස් ෆයර් එකකින් දඬුවමක් ලැබුණා. ඩයනාට පුරවැසිභාවය නැති බව දෙවෙනියට දන්නේ රනිල්.

එදා නැගිටීම තුළ රටේ සම්පත් විකිණීමට එරෙහි මතයක් තිබුණා. දැන් යළි වේගයෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රටේ සම්පත් විකුණමින් සිටිනවා. අපේ අයි.ටී. කර්මාන්තයම අනතුරට ලක්කරමින් ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකුණන්න යනවා. තාවකාලික පාලකයන් ලාභ ලබන රක්ෂණ සංස්ථාව, පශු සම්පත් මණ්ඩලයේ අක්කර විසිඅට දාහක්, ලාභ ලබන ගෑස් සමාගම විකුණන්න යනවා. ඒකෙන් පැැහදිලි වන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම්, ගලේගහලාවත් හදන්න බැහැ කියන එකයි.

එදා 2022 නැගිටීමෙන් පාඩම් ඉගෙන ගන්නනවා නම් ඒ නැගිටීමේ හරය සමග සමපාතවන දේශපාලනයකට යා යුතුව තිබුණා. නමුත් ඒ දේශපාලනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි. 2022 අරගලයෙන් විශාල ආශ්වාදයක් ලැබුවත්, එය අවසානය නොවෙයි, එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීම එහි දෙවන අදියරයි. අනාගතය තිබෙන්නේ ඉෂෙඞ් සහ ඇල්ෆා පරම්රාවේ අතේ. අනාගතය වෙනුවෙන් දේශපාලන අරමුණු පෙළ ගැසෙන්න ඕනෑ. විශේෂ දැනුමක් සහ ප්‍රාගුන්‍යයක් එදා පරම්පරාවට වඩා ඔබ එකතු කරගෙන තිබෙනවා. එදා චේන්පොටක් ගැනීමට, මුද්දක් හදාගැනීමට, මුදල් එකතු කර ගත් අරමුණු වෙනුවෙන් ගාමන් ෆැක්ටරිය උත්තරයක් වුණා. අද අධ්‍යාපන මට්ටමින් ඉහළ ගිහින් වෘත්තීය මටටමකට ආපු වෙනස් තරුණ පිරිසක් ඉන්නේ. ලෝකයේ ඇති නව වෙනස්කම් උකහා ගත් වෙනස් ජීවිත අරමුණු ඔබට තිබෙනවා. එදා තිබුණු රස්සාව අද ඔබට නොගැලපෙන නිසා, ගාමන්ට් ෆැක්ටරිවල ඇබෑර්තු පවතිනවා. නමුත් තරුණ තරුණියන්ට රස්සා නැහැ. හේතුව තරුණ තරුණියන් ජීවත් වෙන වර්තමාන ලෝකයට ඒ පුරප්පාඩු ගැලපෙන්නේ නැහැ. ගාමන්ට්වල ඉල්ලන ප්‍රාථමික ශ්‍රමය වෙනුවට දැනුම අත්දැකීම් සහිත වෙනම ශ්‍රම ප්‍රාගුන්‍යයක් ඔවුන් සතුව තිබෙන්නේ.

තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන ලද ආර්ථිකයක් මේ රටේ තිබෙන්නේ. තරුණ පරම්පරාව වෙනස්වුණු වේගයට ආර්ථිකය වෙනස් වුණේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය සමග සම්බන්ධ නොවෙන විශාල තරුණ පරම්පරාවක් එළියේ ඉන්නවා. ඒ තරුණ පරම්පරාවේ සිතිවිලි, අපේක්ෂාවන්, ජීවන රටාවන්වලට අනුරූපවන පරිදි ගලපන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම අපේ අරමුණයි. 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් ලෝකයට අවශ්‍ය වෙනවා. ඊට අදාළ සැලසුම්වලට තරුණ පරපුර ගෙනයන්න මේ පාලකයන් සැලසුම් සකස්කර තිබෙනවාද? එසේ නොවෙන නිසා අනාගත අවිනිශ්චිතතාවයෙන් පෙළෙන, රට අත්හැර යාමේ අරමුණ සහිත තරුණ පරපුරක් අද ඉන්නේ. නමුත් ඔබේ සිතුම් පැතුම්, අපේක්ෂාවන්, විලාසිතාවන්වලට අනුරූප සිනමාවක්, සංගීතයක්, ක්‍රීඩාවක් සම්බන්ධයෙන් සැලසුම් පවතින්නේ ජාතික ජන බලවේගයට පමණයි. නූතන ලෝකය සමග අත්වැල් බැඳගෙන යන ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ අරමුණු, ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ලෝකයේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක් මේ වන විට අත්පත්කරගෙන ඉන්නේ. මේ පරම්පරාවේ දුවා දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ සද් උවමනාවක් අපට තිබෙනවා.

ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව තිබෙනවා. ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබාදෙන්නේ නැහැ. සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් සියලුම දෙනා පෙර පරම්පරාවල පුතුන්. අනෙක් පැත්තෙත් ඉන්නේ පුත්තුන්ගේ එකතුවක්. අපේ තරුණ පිරිස යොදවා ගන්නේ ඔවුන්ගේ පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න විතරයි.

ජාතික ජන බලවේගයේ අපි කිසිවෙක් පාරම්පරික දේශපාලන පවුල්වලින් එන අය නොfවි. මේ රට වෙනස් කිරීම සඳහා නව දේශපාලන අපේක්ෂාවන් තෝරාගත් අය පමණයි ජාතික ජන බලවේගයේ ඉන්නේ. අපි මේ කරමින් ඉන්නේ ඔවුන් අතේ තිබෙන බැට්න් එක අරගෙන ඔබ අතට ලබාදීමේ ක්‍රියාමාර්ගයයි. ඉතා කෙටි කලකින් අපි ඒ බැට්න් එක ඔබ අතට ලබාදී ඔබ විසින් රට ගොඩනගන ආකාරය දෙස බලමින් සතුටු වෙන්න අපේක්ෂා කරනවා. නමුත් ඔවුන් ලේසියෙන් බලය අත්හරින්නේ නැහැ. ඔවුන් සතු පවුල් බලයත් රාජ්‍ය බලයත් යොදවා දේශපාලන බලය අල්ලාගෙන ඉන්න උත්සාහ කරනවා. පුතාට බැට්න් එක ලබාදෙන්න හැකි සෑම දෙයක්ම පියා කරනවා. එහෙම නම් අපි පොරබදලා මේ බැට්න් එක මාරුකර ගන්න එළඹෙන ජාතික මැතිවරණය යොදාගත යුතු වෙනවා.

බලය මාරුකර ගන්න සුදුසු අවස්ථාව එන තුරු ධෛර්යයෙන් අල්ලාගෙන සිටිය යුතුයි. පුද්ගලිකව ගත්තොත් මගේ ජීවිතයෙන් අවුරුදු 35ක් ඒ අල්ලාගෙන සිටීම කළා. අවලාද, අපහාස, චෝදනා ජනතාව ප්‍රතික්ෂේප කිරීම, 3%ට වැට්ටවීම් සියල්ල මැද්දේ අල්ලාගෙන සිටිමේ කාර්යභාරය පසුගිය කාලය පුරාම සිදුකර තිබෙනවා. දැන් අවස්ථාව එළඹී තිබෙනවා. මුලින් පවත්වෙන්නේ ජනාධිපතිවරණය ද, මහ මැතිවරණය යන්න තෝරා ගැනීමට බැරි තරමට පාලකයන් අර්බුදයට ගොස් සිටිනවා. පොහොට්ටුවට අපේක්ෂකයෙක් තෝරා ගැනීමට නොහැකිවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලනවාද නැද්ද යන්න තීරණය කළ නොහැකි තත්වයක් මතුවෙලා තිබෙනවා. සාම්ප්‍රදායික ලෙස තිබෙන ආණ්ඩුවෙන් පස්සේ විපක්ෂ නායකයාට ඔටුන්න වැටුණු කාලය දැන් අවසන්. ඒ නිසා ඔවුන් විශාලතම මානසික පීඩාවට ලක්ව සිටිනවා. ඉස්කෝලේ ළමයි ඉදිරියේ කියන කතා බැලුවාමත් ඔවුන්ගේ මානසික ආතතිය පැහැදිලි වෙනවා. විපක්ෂ නායක විහිළු කාරයෙක් වෙලා.”

කැබිනට් තීරණ

බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN අංකය අනිවාර්යයි

Published

on

By

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 

Continue Reading

පුවත්

හිටපු කාන්තා කටයුතු ඇමතිණියට නඩු

Published

on

By

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved