පාස්කු ප්‍රහාරයේ පස්වන සැමරුම අවස්තාවේදී තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාවද්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.
පසුගිය අප්‍රේල් 21 වනදා පැවති පාස්කු ප්‍රහාරයේ සැමරුම් අවස්ථාවේදී අගරදගුරු හිමිපාණන් මෙම ප්‍රහාරය පිළිබද විමර්ශන සිදු කෙරෙන ආකාරය මෙන්ම පරික්ෂණ වාර්තා පිළිබද කරුණු ඉදිරිපත් කළහ.
ඒ පිළිබද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 25 වනදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළ ඇතැම් දෑ සාවද්‍ය බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණෝ ඊයේ (03) යළි නිවේදනයක් නිකුත් කළහ.
එහි දැක්වෙන්නේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සිය අතට පත්වූ දිනට පසුදින තමන් කාදිනල් හිමිට දුරකථන ඇමතුමක් නොගත් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනයෙන් පැවසුවද, එය මුළුමනින්ම අසත්‍ය බවය.
එවැනි ඇමතුමක් හිටපු ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් බව යළිත් තහවුරු කරන කාදිනල් හිමි පවසන්නේ, අදාළ ඇමතුමේදී ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබු මුස්ලීම් ජාතිකයන් අතර වෛරය පැතිරවීමට මුල්වූ ප්‍රතිවිරුද්ධ සංවිධානයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බවය.
“වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර ඒ සමග තහනම් කළ යුතු වෙනත් සංවිධානද නම්කර ඒවායේ විස්තරද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා එදා මා හට දුරකථනයෙන් ප්‍රකාශකර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත්වීම නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි. එම සංවිධානයට රාජපක්ෂ ජනාධිපතිතුමා කිට්ටුවෙන් සම්බන්ධවූ බව අප තේරුම් ගන්නේ එතුමා විසින් එම සංවිධානයේ ලේකම්තුමා පසු කලෙක “එක රටක් එක නීතියක් ” යන කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නට යෙදුණු නිසාය.” යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවු විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර කාදිනල් හිමි තමන්ට පමණක් දොස් නගන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නගන චෝදනාව ද සත්‍යයෙන් තොර බව කාදිනල් හිමි සිය නිවේදනය තුළින් පෙන්වා දී තිබේ.
එහිදී කාදිනල් හිමි හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රහාරය වළක්වා නොගත් පොලීසියේ උසස් නිලධාරීන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොමිෂන් සභාව කර තිබු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිය ධුර කාලය තුළදී කටයුතු නොකළේ මන්ද යන්නය.
එසේම කාදිනල් හිමි සිය නිවේදනය අවසානයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත අද පවතින රජයද ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බවය.