Connect with us

පුවත්

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක් – ජනපති

Published

on

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය.

මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

සියලු දෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන්නැයි ද සියලු පාර්ශ්වවලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු 204,002 සකස් කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට සියලුම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතී. ඒ අනුව මැයි මාසය අවසන්වන විට සින්නක්කර ඔප්පු 20,178 මහවැලි ජනපදිකයන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීම මෙහිදී සිදු විය.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මේ ශාලාවේ සිටින ඔබ මෙම ස්ථානයට පිවිසියේ බලපත්‍රලාභීන් ලෙසයි. නමුත් ඔබ මෙතැනින් පිටව යන්නේ ඉඩම් හිමියන් ලෙස බව මම සිහිපත් කිරීමට කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම ගෞරවයක් ලෙසයි සළකනු ලබන්නේ. ඉඩමට තිබෙන වටිනාකම අපට තිබෙන පිළිගැනීම බවට පත්ව තිබෙනවා.

අද මේ රටේ විශාල පිරිසකට පරම්පරා ගණනක සිට ජීවත්වුවත් එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය හිමිව නැහැ. උරුමය වැඩසටහන හරහා සිදුවන්නේ එම ඉඩම් අයිතිය සින්නක්කර ඉඩම් ඔප්පුවකින් ජනතාවට ලබා දීමයි. මින් පසුව ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ. ඔබට ලැබෙන නීත්‍යානුකූල ඉඩම් අයිතිය කිසිවෙකුට අහෝසි කිරීමේ හැකියාවක් නැහැ.

අපි සියලුදෙනා පසුගිය වසර තුනේදී ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. රටේ ආර්ථිකය වගේම අපේ ආර්ථිකයත් කඩා වැටුණා. අත මිට මුදල් හිඟ වුණා. සියලුදෙනා අසීරුවෙන් ජීවත් වුණේ. දැන් එම ආර්ථික ගැටලු අප ටිකෙන් ටික විසඳාගෙන යනවා. අප තව වසර දෙක තුනක් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

රජයේ සේවකයන්ට රැපියල් දස දහසක් වැටුප් වැඩිවීමක් ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. පුදිගලික අංශයේත් බොහෝ ආයතනවල වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඒ වගේම වතුකරයේත් වැටුප් වැඩි කිරීමට අප දැන් නියෝග කර තිබෙනවා.

පසුගිය ආර්ථික දුෂ්කරතාවන් හමුවේ රටේ දිළිදු කණ්ඩායම වර්ධනය වුණා. ඒ වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ සඳහා ලෝක බැංකුවේ සහාය හිමි වු අතර ඒ අනුව සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක් වැඩි කර අස්වැසුම ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට අපට හැකි වුණා. ඒ වගේම ප්‍රතිලාභීන් ප්‍රමණය ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට කටයුතු කළා.

තවද, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කළා.

මේ සියල්ල සමඟ රටේ ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ එන විට එහි ප්‍රතිලාභය එක කොටසකට හිමි වන්නයි, අනෙක් කොටසට නොලැබී යාමටයි ඉඩ තබන්න බැහැ. ඒ නිසා දැනට රජයේ ඉඩම්වල සිටින සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් මෙම පියවර විප්ලවකාරී පියවරක් බව කිවයුතුයි. ලෝකයේ වෙනත් රටවල මෙලෙස ඉඩම් අයිතිය ජනතාවට ලබාදී නැහැ. එසේනම් අප සිදු කර තිබෙන්නේ විශාල විප්ලවයක්. කෘෂිකර්මාන්තය සඳහා පමණක් නොව නිවාස සඳහා ද ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. ඒ වගේම මහල් නිවාසවල සිටින අයට එම නිවාසවල අයිතිය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ලෝකයේ තිබෙන විප්ලවකාරී පියවරක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම මෙය මෙරට ජනතාවට ලබා දෙන විමුක්තියක් ලෙස මම සලකනවා.

මෙම ඉඩම් ඔප්පු කඩිනමින් සකස් කිරීම පිළිබඳ අප පසුගියදා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. අගමැතිතුමා මේ කටයුතු භාරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට දැනුම් දෙන්න කැමතියි. මෙම වැඩසටහන ඉදිරි මාස දෙක තුළ කඩිනමින් අවසන් කළයුතුයි. ඉඩම් කොමසාරිස් කාර්යාල, මහවැලි අමාත්‍යාංශය, මිණුම් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු එක්ව මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මෙම ඉඩම් ලබාගත් පසු රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වීම ඔබේ වගකීම වෙනවා. රටේ කෘෂිකර්මාන්තය නවීකරණ කරමින් තරගකාරී කෘෂි අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමට අප සියලුදෙනාට වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ පිළිබඳ සාකච්ඡා කර ලබාදිය හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණෙනවා. ඒ වගේම මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බලා ඉදිරි වසර තුන හතර තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ලබන ජුනි මාසයේ ලෝක බැංකුවේ නියෝජිතයන් මෙහි පැමිණෙනවා.ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ සැලසුම් ඉදිරිපත් කළ යුතු නිසා මෙම කටයුතු නීතිගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම පොළොන්නරුව දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. අප මේ වන විටත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇතැම් අය අහනවා අවුරුදු 76ක් මොනවද කළේ කියලා. වාර්මාර්ග ඉදිකර, විදුලි බලය ලබාදී ජනතාව එහි පදිංචි කර ගොවිතැන් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළා. නමුත් මේ පළාත්වලට නොලැබී ඇති සංවර්ධනය ලබාදීමේ වගකීම මම භාරගෙන තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මම කිසි දවසක කියන්නේ නැහැ ආණ්ඩුව බෙදෙන්න ඕන කියලා. අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. අනිත් අය එපා කියපු ආණ්ඩුවකුයි අපි භාරගත්තේ. සියලුදෙනා මේ ආණ්ඩුව භාර ගැනීමට අකමැති වුණා. නමුත් දැන් අප එක්වෙලා රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. දැන් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ පුරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දෙමු කියලා මම ඉල්ලා සිටිනවා.


( ජනාධිපති මාධ්‍ය අංශය )

පුවත්

ග්‍රාම නිලධාරීන් දේශපාලන රැස්වීම් වර්ජනයක

Published

on

By

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි.

එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය  

Continue Reading

පුවත්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

Published

on

By

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටිය දී වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත.

මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර 60 හැවිරිදි මුහුදු වෙරළ පාර, ඔලුවිල් හි පදිංචි ව සිටි තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුරින් තුවාල ලබා නොමැති බව සඳහන් වේ.

නාවික හමුදාව විසින් වෙනත් ධීවර බෝට්ටුවක සහාය ඇති ව මෙම පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර ඇත.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මත් කුඩු කිලෝ 450ක් අද පුත්තලමේදී විනාශ කෙරේ

Published

on

By

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබයි.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved