පුවත්

පොලිස් නිලධාරීන්ට පහර දුන් පාසල් සිසුන් 5ක් අත්අඩංගුවට

Published

on

ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක මුහුදේ බීමත්ව පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකු සිටින අයුරු දැක තිබේ.

එම අවස්ථාවේ නිලධාරීන්, එම ස්ථානය දිය නෑම අනාරක්ෂිත බව පවසා ඔවුන්ට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට දැනුම් දීමක් සිදු කළද, අදාළ පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 සහ අවුරුදු 30 අතර පසුවන රත්මලාන, පිළියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ නියෝගයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Trending

Exit mobile version