ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙදෙනාගෙන් සාමාජිකයන් 79ක් එක්ව ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවී ඇත්තේ 16 දෙනෙකු පමණක් බවත්, ඉන් 11 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර ඇත.
එසේ විපක්ෂ වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර යන මන්ත්‍රීවරු පිරිසයි.
මෙයට එක්වූ, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩීඩී චානක හා රෝහිත අබේගුණවර්ධන යන පොහොට්ටු මන්ත්‍රීලා එම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බවද පැවසේ.
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියගේ දියණිය පවා මේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බවද පැවසේ.
කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නම හෝ මතුවී නැතැයිද වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.
තෙන්නකොන්ලා රනිල් මත්තෙමයි
මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් තමාත් තමාගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා තිබේ.
තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද සිටින්නේද ජනාධිපතිවරයා සමග බව ඔහු සඳහන් කර ඇත.