පුවත්

බිත්තර මිළට මොකද වුණේ කියලා කිකිලිගෙන් අහන්න ඕන

Published

on

දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ යටිනුවර ආසනයේ පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය ආණ්ඩුව අස්වැසුම , වැඩිහිටි දීමනාව , ආබාධිත දීමනාව ඇතුළු සහන ජනතාවට ලබාදුන්නේ රාජ්‍ය ආදායම් නිවැරැදි ලෙස කළමනාකරණය කිරීමෙන් මිස ණයට ගෙන නොවන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

”පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ අපි කණ්ඩායමක් විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළේ , එතුමා ඇතුළු අපේ ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් ගෙනගිය වැඩපිළිවෙළ කඩාකප්පල් වුණොත් රට බරපතළ අර්බුදයකට පත්වෙන බව විශ්වාස කළ නිසයි. ඒ තුළ අපි විශ්වාස කළා එම වැඩපිළිවෙළ තවත් අවුරුදු 2-3ක් වත් ඉදිරියට ගෙනයාමට අවශ්‍යයි කියලා. අද වන විට අපේ ඒ විශ්වාසය නිවැරැදි බව තහවුරු වෙමින් තියෙනවා .මේ වෙනකොට මාලිමාව එදා කියපු දේවල් ප්‍රායෝගික නැති බව මහ පොළොවේ ඔප්පු වෙමින් තියෙනවා. උදාහරණයක් ලෙස එදා ඔවුන් බැඳුම්කර නිකුත් කිරීම විවේචනය කළා. නමුත් අද ඔවුන් දිගින් දිගටම බැඳුම්කර නිකුත්කරමින් ණය ගන්න කටයුතු කරනවා. අපේ ආණ්ඩුව අස්වැසුම , වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව ඇතුළු ජනතාවට සහන දුන්නේ ණය අරගෙන නෙවෙයි . අපි රාජ්‍ය ආදායම් නිවැරැදි ලෙස කළමනාකරණය කරමින් ඒ කටයුතු සිදුකළා. නමුත් මේ ආණ්ඩුව ණයට අරගෙන කන්න දෙන ප්‍රතිපත්තියක් ගෙනයනවා. මේ විදිහට ගියොත් රට යළිත් අර්බුදයට ගමන් කිරීම වලකාලීමට කිසිවෙකුට නොහැකි වෙනවා. ඔබතුමන්ලා දන්නවා පසුගිය දින වල ජාත්‍යන්තරයේ ඉතා වැදගත් සමුළු දෙකක් තිබුණා . එකක් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව . අනෙක බ්‍රික්ස් සමුළුව. මේ සමුළු දෙකටම ආරාධනා ලැබුණත් අනුර දිසානායක ජනාධිපතිවරයා සහභාගී වුණේ නෑ. ඒ වෙනුවට සාමාන්‍ය නිලධාරින් පිරිසක් යවන්න කටයුතු කළා. මේ විදිහට පුළුවන් ද රටක් කරන්න. එතුමා හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ , අපි ගෙවන්න තියෙන ණය අරගෙන තියෙන්නේ ලංකාවේ කොහේ හරි ඉන්න පොලී මුදලාලි කෙනෙකුගෙන් කියලා. විදෙස් සම්බන්ධතා මේ ආකාරයට පළුදු කරගෙන අපි කොහොමද රටක් ලෙස ඉදිරියට යන්නේ . ඒ ගැන අපි හිතන්න අවශ්‍යයි .ඒ වගේම ඔබතුමන්ලා තේරුම් ගන්න මේ වෙනකොට අපි හම්බ කරගෙන කනවා. නමුත් 2028 වසර වෙනකොට අපි හම්බ කරලා ණයත් ගෙවලා තමයි කන්න අවශ්‍ය. ඒ වෙනකොට ආර්ථිකය හදාගෙන හිටියේ නැත්නම් ආයෙත් මේ රට බරපතළ ලෙස අර්බුදයට යනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ, අපේ ආණ්ඩුව අනුගමනය කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි කියලා .ඔබතුමන්ලාට මතක ඇති මේ අය ජන්දය ගන්න කොච්චර නම් බොරු අවලාද කිව්වාද කියලා . අනුර දිසානායක පාලනය ඇතුලේ අඩු මිලට බිත්තර කන්න පුළුවන් කියලා කිව්වා. බිත්තරයෙන් පවා අපේ ඇමතිවරුන් කොමිස් ගන්නවා කිව්වා. අනුර ආව ගමන් බිත්තර මිල අඩු වුණා . ඒත් සතියයි ගියේ බිත්තර මිල අපේ කාලයේ තිබුණාටත් වඩා ඉහළ ගියා. දැන් කිකිලිගෙන් තමයි අහන්න වෙන්නේ මොකද වුණේ කියලා.”

Trending

Exit mobile version