Connect with us

පුවත්

බූරු මූණා පැන්නූ පොලිසියේ හතරගේ බැංකු ගිණුම් පරික්ෂාවට!

Published

on

රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි.

කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නමැති මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇති බවට සැකකෙරේ.

ගුවන් ගමන් තහනමක් තිබියදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට ගිය මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී තිබුණේ පසුගිය (24) වැනිදා සවස 06 ට පමණය.

පොලිසිය වෙත භාර දුන් මෙම සැකකරු එදින රාත්‍රිය වනතෙක්ම පොලිස් සිරමැදිරියේ රඳවා තබාගෙන ඇති අතර චීවරධාරීන් තෙනමක් වශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු මොහු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සමගින් සාකච්ඡා කර ඇත. 

ඔවුන් ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සැකකරුට ආහාර ගැනීම සඳහා අත්විලංගු ඉවත් කරදෙන ලෙසය.

පසුව ස්ථානාධිපතිවරයා පොලිසියේ සිර මැදිරිය භාර කාර්යභාර සැරයන්වරයාට උපදෙස් දී ඇත්තේ සැකකරුගේ අත්විලංගු ඉවත් කර මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසය.

එහිදී සැකකරුට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු බව කියමින් හිමිවරුන් පොලිස් ස්ථානයෙන් බැහැර වී ඇති අතර ඒ අවස්ථාවේදීත් සැකකරු සිට ඇත්තේ අත්විලංගු නොමැතිවය. 

එමෙන්ම එක් හිමිනමක් විස්කි බෝතලයක් තියෙනවා එළියට එන්න දෙන්නම් යැයි කාර්ය භාර සැරයන්වරයාට පවසා ඇතැයි කියැවේ.

මේ අනුව ආහාර ගෙන ඒමට කියා ගිය හිමිවරුන් පැමිණ විස්කි බෝතලය ලබාගැනීම සඳහා පොලිස් සැරයන්වරයාට පිටතට ආරාධනා කර ඇති අතර එය අවස්ථාවක් කරගත් සැකකරු පොලිස් ස්ථානයෙන් පිටතට පැන පොලිස් නිලධාරීන්ද තල්ලු කරමින් පලාගොස් ඇත.

මෙම සැකකරු කහ පැහැ ඇක්වා වර්ගයේ මෝටර් රියකින් හලාවත දෙසට පලාගොස් ඇති අතර සැකකරු හලාවත හරහා බෝට්ටු මගින් ඉන්දියාවට පැනගොස් ඇති බවට සැකකෙරේ.

මෙම සැකකරු පලායාම හා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවත් මෙය පිටුපස රුපියල් කෝටි එකහමාරක මුදල් ගනුදෙනුවක්ද පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

බූරු මූණා නමැති මෙම සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලා හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද හඳුනාගෙන ඇත.

මෙම ඝාතනය ගැන විමර්ශන සිදුකළ නිලධාරීන්ට වෙනත් වරදකට ගෙන ආ සැකකරුවකුගේ ජංගම දුරකථනයක තිබී බූරු මූණා නමැති මෙම අපරාධකරුගේ රුව ඇතුළත් විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයක් හමුව තිබේ.

පසුව එම ඡායාරූපය රහසිගත අන්දමින් ලබාගෙන වැඩිදුර විමර්ශන සහිතව සැකකරුගේ නමින් ගුවන් ගමන් තහනමක් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබේ.

සැකකරු පසුගියදා (24) වැනිදා අත්අඩංගුවට පත්ව තිබුණේ තමාට එරෙහිව ගුවන් ගමන් තහනමක් ගෙන ඇති බව නොදැන පැමිණ සිටියදීය.

කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවකු පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කටුනායක පොලිස් ස්ථානාධිපති ජානක සේනාධීර, කාර්යභාර සැරයන් සේනාරත්න, ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන සිවුදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදනෙකු ඇප මත මුදාහැරිණි.

පොලිස් සිරමැදිරිය භාරව සිටි කාර්ය භාර නිලධාරි සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

එමෙන්ම සිදුකරන ලද විමර්ශන මගින් මෙම පාතාල සාමාජිකයා බේරාගැනීමට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෙට්ටිපොල විහාරස්ථානයක වැඩවසන පාතාලයෙන් උදවු උපකාර ලබන හිමිනමක් බවද හෙළිවී ඇත.

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved