පුවත්

බූරු මූණා පැන්නූ පොලිසියේ හතරගේ බැංකු ගිණුම් පරික්ෂාවට!

Published

on

රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි.

කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නමැති මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇති බවට සැකකෙරේ.

ගුවන් ගමන් තහනමක් තිබියදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට ගිය මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී තිබුණේ පසුගිය (24) වැනිදා සවස 06 ට පමණය.

පොලිසිය වෙත භාර දුන් මෙම සැකකරු එදින රාත්‍රිය වනතෙක්ම පොලිස් සිරමැදිරියේ රඳවා තබාගෙන ඇති අතර චීවරධාරීන් තෙනමක් වශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු මොහු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සමගින් සාකච්ඡා කර ඇත. 

ඔවුන් ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සැකකරුට ආහාර ගැනීම සඳහා අත්විලංගු ඉවත් කරදෙන ලෙසය.

පසුව ස්ථානාධිපතිවරයා පොලිසියේ සිර මැදිරිය භාර කාර්යභාර සැරයන්වරයාට උපදෙස් දී ඇත්තේ සැකකරුගේ අත්විලංගු ඉවත් කර මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසය.

එහිදී සැකකරුට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු බව කියමින් හිමිවරුන් පොලිස් ස්ථානයෙන් බැහැර වී ඇති අතර ඒ අවස්ථාවේදීත් සැකකරු සිට ඇත්තේ අත්විලංගු නොමැතිවය. 

එමෙන්ම එක් හිමිනමක් විස්කි බෝතලයක් තියෙනවා එළියට එන්න දෙන්නම් යැයි කාර්ය භාර සැරයන්වරයාට පවසා ඇතැයි කියැවේ.

මේ අනුව ආහාර ගෙන ඒමට කියා ගිය හිමිවරුන් පැමිණ විස්කි බෝතලය ලබාගැනීම සඳහා පොලිස් සැරයන්වරයාට පිටතට ආරාධනා කර ඇති අතර එය අවස්ථාවක් කරගත් සැකකරු පොලිස් ස්ථානයෙන් පිටතට පැන පොලිස් නිලධාරීන්ද තල්ලු කරමින් පලාගොස් ඇත.

මෙම සැකකරු කහ පැහැ ඇක්වා වර්ගයේ මෝටර් රියකින් හලාවත දෙසට පලාගොස් ඇති අතර සැකකරු හලාවත හරහා බෝට්ටු මගින් ඉන්දියාවට පැනගොස් ඇති බවට සැකකෙරේ.

මෙම සැකකරු පලායාම හා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවත් මෙය පිටුපස රුපියල් කෝටි එකහමාරක මුදල් ගනුදෙනුවක්ද පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

බූරු මූණා නමැති මෙම සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලා හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද හඳුනාගෙන ඇත.

මෙම ඝාතනය ගැන විමර්ශන සිදුකළ නිලධාරීන්ට වෙනත් වරදකට ගෙන ආ සැකකරුවකුගේ ජංගම දුරකථනයක තිබී බූරු මූණා නමැති මෙම අපරාධකරුගේ රුව ඇතුළත් විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයක් හමුව තිබේ.

පසුව එම ඡායාරූපය රහසිගත අන්දමින් ලබාගෙන වැඩිදුර විමර්ශන සහිතව සැකකරුගේ නමින් ගුවන් ගමන් තහනමක් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබේ.

සැකකරු පසුගියදා (24) වැනිදා අත්අඩංගුවට පත්ව තිබුණේ තමාට එරෙහිව ගුවන් ගමන් තහනමක් ගෙන ඇති බව නොදැන පැමිණ සිටියදීය.

කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවකු පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කටුනායක පොලිස් ස්ථානාධිපති ජානක සේනාධීර, කාර්යභාර සැරයන් සේනාරත්න, ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන සිවුදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදනෙකු ඇප මත මුදාහැරිණි.

පොලිස් සිරමැදිරිය භාරව සිටි කාර්ය භාර නිලධාරි සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

එමෙන්ම සිදුකරන ලද විමර්ශන මගින් මෙම පාතාල සාමාජිකයා බේරාගැනීමට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෙට්ටිපොල විහාරස්ථානයක වැඩවසන පාතාලයෙන් උදවු උපකාර ලබන හිමිනමක් බවද හෙළිවී ඇත.

Trending

Exit mobile version