පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු(7) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (09) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මියගොස් තිබුණේ නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය ජනවාරි මස 10දා හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟින් මෙම පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඇතිවූ කළහකාරී තත්වයකදී පොලිසිය එය පාලනය කිරීමට යාමේ දී ඇතිවූ සිද්ධියකින් පසු සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, එහිදී ඔහු මියගොස් තිබුණි.