පුවත්

මත්පැන් බලපත්‍ර වලට අතුරු තහනම් නියෝගයක්

Published

on

බදු පනතේ විධිවිධානයන්ට රෙගුලාසිවලට පටහැනි ලෙස අත්තනෝමතික ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02 වැනිදා) ලබන මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු සෙසු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බව චෝදනා කළේය.

ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙන්වා දුන්නේය.

ඒ අනුව සුරාබදු පනතේ හා රෙගුලාසිවල සඳහන් ප්‍රතිපාදන අභිභවා ගොස් මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළහ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් කාලයේ සුපිරි වෙළෙඳසල් ජාල ඇතුළු විවිධ පුද්ගලයන් සඳහා අක්‍රමවත් ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර ඇති බවයි. ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී මූලික නීතිමය අවශ්‍යතා පවා අනුගමනය කර නොමැති බවට කරුණු අනාවරණය වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ හරහා වෘත්තීය මත්පැන් බලපත්‍රලාභීන්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙන්වා දී තිබේ.

සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම්කරුවෝ වැඩිදුරත් ඉල්ලා සිටිති.

(අරුණ)

Trending

Exit mobile version