පුවත්

මන්ත්‍රී අර්ච්චුනා දේශපාලනයෙන් සමුගනී ?

Published

on

තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කර සිටියි.

මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින්, මන්ත්‍රීවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේය.

එහිදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන්කර සිටියේ,

”දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්‍රිස් මොකුත් කරලා නෑ. මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දෙ දීලා නෑ.
දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන් වෙනුවට. ඒ නිසා වැඩි දුරක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති ක්ෂේත්‍රයක්. හැබැයි මම ඉන්න කාලේ කෙලින් ඉන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබුණේ, රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ ය.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

පසුගියදා මෙම සිද්ධිය සිදුවුණේ අනුරාධපුර ගල්වල මංසන්ධිය අසළදීය.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ, මීට අදාළ නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම සිද්ධියට නිවැරදි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා බවය.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනාගේ ඉල්ලීම මත මෝසමක් මගින් මෙම නඩුව මීට පෙර කැදවූ අවස්ථාවේදී නම්වල පරස්පරතාවයක් තිබෙන බව ප්‍රකාශ කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවැරදි සැකකරු මෙම සැකකරු බවට අධිකරණයට පිළි ගැනීමට නොහැකි බව කියා සිටීම ඊට හේතුව විය.

ඒ අනුව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අරච්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවය.

මේ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය පවසා ඇත.

පොලිසියේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ නිවැරදි සැකකරු ලෙස රාමනාදන් අරච්චුනා යන අය බවට පිළිගනිමින් නඩුව යලි පෙබරවාරි මස 3 වන දින කැඳවීමට නියෝග කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි දැනුම් දී තිබුණි.

Trending

Exit mobile version