Connect with us

පුවත්

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Published

on

විරෝධතාවක් වාර්තා කොට නැවත නිවස බලා යන අවස්ථාවේදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොකොට පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් කටයුතු කර තිබේ.

මේ වන විට මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ලෙස මෙන්ම වට්නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක ලෙස කටයුතු කරන ඔහු, අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම පෙරේදා(11) ගොනු කර තිබුණි.

පසුගිය වසරේ (2023) ජුලි 28 වැනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් වාර්තාකරණයෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන පහරදීම සිදු කරන ලදී.

එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසප්තිවරයා වූ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වූ බොරැල්ල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ සහ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසක්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර තිබේ.

තරිඳු උඩුවරගෙදරට එරෙහිව වසරකට ආසන්න කාලයක් තිස්සේ උක්ත සිදුවීමට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර, මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් අදාල විරෝධයේදී අත්අඩංගුවට ගැනීමට අදාලව ඔහු කර ඇති වරද කුමක්දැයි නිශ්චිතව චෝදනා ගොනු කිරීමට පොලීසිය අසමත් වී ඇත.

2024 ජුනි 11 වැනිදා එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක දෙක ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීද පොලීසිය කියා සිටියේ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් කාලය ලබා දෙන ලෙසය.

එහිදී තවදුරටත් අපරාධමය චෝදනා ගොනු නොකරන්නේ නම්, තරිඳු උඩුවරගෙදර අධිකරණ කටයුත්තෙන් නිදහස් කරන ලෙස නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහතා ඉල්ලා සිටින ලදී.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඊළඟ නඩු වාරය වන විට චෝදනා ගොනු නොකළහොත් එසේ සිදු කරන බවයි.

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයට ලැප් එකක් දී පලාගිය ජර්මන් කත අල්ලයි

Published

on

By

රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය ජර්මන් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බව පැවසේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ ඇති බවද පැවසේ.

ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබාගෙන ඇත. 

තත්ත්වය එසේ තිබියදී එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් වලින් පස්සේ ලයිට් බිල 33%කින් වැඩිවෙයි

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතිය තුළ යැවීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. 

එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved