පුවත්

මැතිවරණයට අදාළව වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදුකර ඇති කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහාය.

පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තා ලබා දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ නිරීක්ෂණ වාර්තා පදනම් කරගනිමින් ලබන 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බවය.

පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා පසුගිය 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේය.

ඒ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ පනතේ විධි විධානවලට පටහැනි බව පවසමින් පෙත්සම ගොනුකර තිබුණි

ඉන් පෙන්වා දී තිබුණේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 10 වැනි වගන්තිය අනුව නාමයෝජනා කැඳවීමට, ඔක්තෝබර් මස 04 වැනි දා සිට ඔක්තෝබර් 11 වැනි දා දක්වා දින නියම වූ බවය.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති 5කට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව ද එහි දැක්වේ.

ඒ අනුව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් 11 වැනි දා සිට සති 5ක කාලය, නොවැම්බර් මස 15 වැනි දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වැනිදා සම්පූර්ණ වන බව පෙත්සමේ සඳහන්ය.

මැතිවරණ සංශෝධන පනතට අනූව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට සහ මැතිවරණය පැවැත්වීමට නිවැරදි කාලය වන්නේ, නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 29 වැනි දක්වා බව පෙන්වා දෙන පෙත්සම්කරු, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එය නීතියේ ආධිපත්‍යය කඩ කිරීමක් බවත් පෙන්වා දී තිබුණි.

Trending

Exit mobile version