මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මුදාගෙන ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙසේ මුදාගත් ලාංකිකයන් 08 දෙනා මේ වනවිට මයවඩ්ඩි පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවත්, ඔවුන්ව ඉක්මනින්ම යළිත් මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාරයේ පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි.
ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ලද තොරතුරු අනුව මයවඩ්ඩි ප්‍රදේශයේ ස්ථාන 04ක මෙම ලාංකිකයන් 56 දෙනා රඳවාගෙන සිටින අතර, මෙලෙස මුදවාගෙන ඇති ලාංකිකයන් 08 දෙනා හමුවී ඇත්තේ එම ස්ථාන හතරෙන් එකකිනි.
මෙලෙස රඳවාගෙන සිටින ඉතිරි ලාංකිකයන් සියල්ලන්ම මුදවා ගැනීමට අවශ්‍ය සියලු පියවර ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යංශය ගනිමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.