ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සලෝචන ගමගේ මහතා සහ තවත් ව්‍යාපාරිකයෙක් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර කර තිබුණි.
පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වේ.
(පෙර පුවත: 2024 දෙසැම්බර් 28, පෙ.ව.11:46)
මිලියන 9ක අල්ලසක් ගත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවය.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.