Connect with us

පුවත්

මෙරටට බාපු කුණු මාළු කන්ටේනර් 102 ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදී. 

එසේම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙ‍ෙහයවන ලෙසටත් එම අවස්ථාවට සහභාගී වූ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීම සිදු විය.  

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ නරක්වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 20දා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102 ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්වී ඇත. නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළගා වී ඇති අතර නැවෙහි අළුත්වැඩියා කටයුතු නිමවී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇතිවී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා මෙහිදී කරුණු දක්වා සිටියේය.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබා දීම සිදු කළද මෙරට රේගු ආඥා පනතට අනුව “පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙන සුළු මාළුවර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සදහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහඟත බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම නරක්වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැනි  බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවෙක් ආනයනයකරුවෙක් ලෙස යොදා ගනිමින් නව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදු කිරීම වංචාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සදහන්ව ඇති බවත් එය නැව වරායට පැමිණි 2022.01.13ට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.  

කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්තුමිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත් ආනයන හා අපනයන පාලන පනත  අනුව අදාළ අවසරය හිමි වූ බවත්ය.

බහාලුම් 102න් 4 ක් විනාශ කිරීමට ලක් කළ බවත් ඉතිරි 98න් 43 ක් පොහොර නිපදවීම සදහා යොදා ගත් බවත් තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත් තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහිදී අනාවරණය විය. 2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින්   අධික දුගද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බව සාකච්ඡා විය.

එසේම පොහොර සෑදීම සදහා මෙම මාළු තොගය ලබා ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පැවසීය. කෙසේවෙතත් ‍ඒ සම්බන්ධයේ පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත්  එසේ සැමන් සෑදීම සදහා මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

නැවක් ආපදාවට ලක්වූ  විට උපකාර කිරීම කිසිදු ගැටලුවක් නැති වුවද මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නොවන බවට පැහැදිළි වන බව කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.  කිසිවකුත් ‍ගැනීමට අකමැති වූ නරක් වූ මාළු තොගයක් රටතුළට ගැනීම බරපතල තත්ත්වයක් බවත් පරිසරයට හා ජීවිතවලට තර්ජනයක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම  මිනිස් පරිභෝජනයට මෙම මාළු යොදාගෙන ඇත්තේද යන්න පිළිබඳවත් සැකයක් මතුවන බවත් එසේම මෙම සමස්ත ක්‍රියාවලියේම  ගැටලු රැසක් නිරීක්ෂණය වන බවත් ගරු ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම සිද්ධියට අදාළව අදාළ සියලු ආයතනවලින් සමන්විත කමිටුවක් පත් කර කොපමණ පොහොර ප්‍රමාණයක් නිපදවා ඇත්දැයි ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කර වාර්තා කරන ලෙස මීට පෙර 2024.01.23 දින පැවති කෝපා කමි‍ටුවේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට  නිර්දේශ කර තිබුණද එම කමිටුව පත් කර ඇත්තේ මෙම රැස්වීමට කැඳවීමේ ලිපි ලැබීමෙන් පසු බවත් මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳව කමිටු සභාපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය.

එසේම මෙම සමස්ත ක්‍රියාදාමය විමර්ශනයේදී  කන්ටේනර් මෙරටට ගැනීම සදහා ඉතා උනන්දුවකින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන බවත් එම උනන්දුව අනෙකුත් කටයුතු සදහාද තිබිය යුතු බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.  

රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඉසුරු දොඩන්ගොඩ, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශ, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading

පුවත්

ලංකාවේ Starlink ආරම්භය ගැන ඉඟියක්

Published

on

By

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී.

මෙම හමුව සඳහා මෙරට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා දරන පුළුල් උත්සාහයන් පිළිබඳව තානාපති ලැන්ග් මහතා අගය කළ අතරම ඒ සඳහා සහයෝගය පළ කර සිටියේය.

සාකච්ඡාවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙලයි.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් දියත් කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී තහවුරු කළ අතර  ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරු (Dashboard) ලැබුණු පසු, මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බව ද දන්වා සිටියේ ය.

ඊට අමතරව මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කළ අතර ඒ අනුව, ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම,පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධයව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ඒවා අභියෝගාත්මක සහ සංකීර්ණ බව විස්තර කරමින් තානාපති ලැන්ග් මෙම මුලපිරීම්වල වැදගත්කම සහ අත්‍යාවශයතාවය අවධාරණය කළේය. මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් ඔහු තවදුරත් අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි  සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

Continue Reading

පුවත්

විදුලිබල පනතට එරෙහිව පෙත්සමක්

Published

on

By

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි.

මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved