පුවත්

මෙරට ඊශ්‍රායල ජාතිකයින්ට සහයවෙන්න දුරකථන අංකයක්

Published

on

මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මූලස්ථානය දැනුම්දෙන්නේ ඒ සඳහා 0718 – 592651 යන දුරකථන අංකය ඔස්සේ සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාව සම්බන්ධ කරගන්නා ලෙසය.

මේ අතර මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (23) වාර්තා විය.

ඒ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවන විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බව පවසමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කර ඇති පසුබිමකය.

ඉන්දීය බුද්ධි අංශ විසින්ද ආරුගම්බේ ප්‍රහාර සැලසුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (23) සඳහන් කළේ එම සැලසුම සම්බන්ධයෙන් ඔක්තෝබර් 7 වනදා තොරතුරු ලැබුණු බවය.

මෙම තොරතුරත් සමගම ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල ජාතිකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට මෙරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Trending

Exit mobile version