Connect with us

පුවත්

රටපුරා ඉඩම් ගැටලු විසඳන්න කමිටු 8ක්

Published

on

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

සෙට්ටිකුලම  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදු කිරීමට කටුයුතු කරන බව ද පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.  

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර උතුරු  පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට  අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද  කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට  භූමිතෙල් ලබා දීමේදී  සිදුවන විවිධ අක්‍රමිකතා  පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද ,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන  මහත්ම මහත්මීහු ද වව්නියාව, මන්නාරම  සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved