රටේ ප්‍රශ්න හමුවේ කර නොහැර නායකත්වය ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින්ද යන්න තවමත් තීරණය කර නැතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රි කණ්ඩායම සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම තවමත් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවය.
මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ද සහභාගි විය.
“අපි තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරලා නෑ. නමුත් පක්ෂයේ අභ්‍යන්තර මතවාදී ප්‍රශ්නයක් තිබෙනවා. අද මේ රට මුහුණදී තිබෙන ප්‍රශ්නවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය යම් තරමකට වගකිව යුතුයි. මේ අවස්ථාවේ අපිට කර අරින්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු මිස ආණ්ඩු හෝ වෙනත් ක්‍රියාමාර්ග නොවෙයි.“යැයිද මන්ත්‍රිවරයා කීවේය.