Connect with us

පුවත්

ළමා රෝහලේ වර්ජනය අවසන් (Update)

Published

on

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවයි.

————————————-

(පෙර පුවත : 2023 ජුලි 19 පෙ.ව. 10:53)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

එහිදී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලුවක් මෙලෙස දික්ගැස්සෙමින් පවතින බවත් අදාල ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා එය විසඳීීීමට අසමත් වී ඇති බැවින් ඔහුගේ නොහැකියාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ‌මෙම ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා රැගෙන යාමට සිදුවී ඇති බවය.

තවද මේ පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතියක කාලයක් ඉල්ලා ඇති නමුත් දැනට සති තුනක් ගත වුවත් තවමත් තමන්ගේ වගකීම ඉටු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වී ඇති බැවින් මෙම ප්‍රශ්නය නොවිසඳීමට විරෝධය පා එම රෝහලේ බාහිර රෝගී අංශය මෙලෙස පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කල බවත්, එනමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වර්ජනය පිළිබඳ තමා දැනුවත් කර නොමැති බවය.

“එහෙම එකක් සංවිධානය කළා කියලා මට ආරංචියි. නමුත් මට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරලා නෑ. ගිය සතියේ ඉඳලම ඇක්ෂන් ගන්නවා කියනවා කුමන හේතුවක් ද කියන්න මම දන්නේ නෑ. ඔය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරිය සැඩ පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියලා. නමුත් මා දන්නා පරිදි මේ වනවිට ඔය කියන විශේෂඥ වෛද්‍යවරිය ළඟ ඔය කියන වෛද්‍යවරු නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙන කිසිදු වෛද්‍යවරයෙක් මාසයක පමණ කාලයක සිට නෑ. මාසයක කාලයක සිට තාඩන පීඩන කළා කියන එක මම දන්නේ නෑ. මොකද වෛද්‍යවරු එම ස්ථානයට යන්නේ නැති නිසා. කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවා. ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කරපු වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට මට බලයක් නෑ.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

පුවත්

“සිරි දළදා වන්දනාව” අද දෙවැනි දිනටත් ; එක පෝලිමක් කිලෝමීටර් 8යි

Published

on

By

ඊයේ (18) ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද (19) දෙවන දිනටත් පැවැත් වේ.

ඒ අනුව අද දහවල් 12 සිට පස්වරු 05.30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදාවී තිබේ.

ඊයේ (18) දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇත.

අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටින බවද වාර්තා වේ.

ඊයේ දිනයේදී මහනුවර නගරයට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක්  පැමිණීම හේතුවෙන් කලින් සැලසුම් කළ ඇතැම් කටයුතු වෙනස් කිරීමට සිදු වූ බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මාධ්‍යට පවසා ඇත.

දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සැලසූ පහසුකම්වලට අමතරව ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම මුස්ලිම් දේවාස්ථානද සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කළ බව මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වී තිබේ.

 එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් ඇතැයි පැවසේ.

පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

මතුගම තරුණියක් ගෙල කපා ඝාතනය කරලා

Published

on

By

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි.

මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.

විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Continue Reading

පුවත්

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ අය අල්ලයි!

Published

on

By

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය.

මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved