කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවයි.
————————————-
(පෙර පුවත : 2023 ජුලි 19 පෙ.ව. 10:53)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
එහිදී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලුවක් මෙලෙස දික්ගැස්සෙමින් පවතින බවත් අදාල ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා එය විසඳීීීමට අසමත් වී ඇති බැවින් ඔහුගේ නොහැකියාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙම ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා රැගෙන යාමට සිදුවී ඇති බවය.
තවද මේ පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතියක කාලයක් ඉල්ලා ඇති නමුත් දැනට සති තුනක් ගත වුවත් තවමත් තමන්ගේ වගකීම ඉටු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වී ඇති බැවින් මෙම ප්‍රශ්නය නොවිසඳීමට විරෝධය පා එම රෝහලේ බාහිර රෝගී අංශය මෙලෙස පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කල බවත්, එනමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වර්ජනය පිළිබඳ තමා දැනුවත් කර නොමැති බවය.
“එහෙම එකක් සංවිධානය කළා කියලා මට ආරංචියි. නමුත් මට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරලා නෑ. ගිය සතියේ ඉඳලම ඇක්ෂන් ගන්නවා කියනවා කුමන හේතුවක් ද කියන්න මම දන්නේ නෑ. ඔය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරිය සැඩ පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියලා. නමුත් මා දන්නා පරිදි මේ වනවිට ඔය කියන විශේෂඥ වෛද්‍යවරිය ළඟ ඔය කියන වෛද්‍යවරු නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙන කිසිදු වෛද්‍යවරයෙක් මාසයක පමණ කාලයක සිට නෑ. මාසයක කාලයක සිට තාඩන පීඩන කළා කියන එක මම දන්නේ නෑ. මොකද වෛද්‍යවරු එම ස්ථානයට යන්නේ නැති නිසා. කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවා. ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කරපු වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට මට බලයක් නෑ.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර ඇත.