පුවත්

රුසියාවට සෙබළු යැවූ අයෙක් දෙහිවලදී අත්අඩංගුවට

Published

on

විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සෙබළු සංචාරක වීසා මත රුසියාව සහ යුක්රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (මැයි 20) අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේ ය.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සංචාරක වීසා මත රුසියාවට පුද්ගලයන් 120 දෙනෙකු පමණ යැවූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඊට සැකපිට අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සැකකාර පුද්ගලයා රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිට සංචාරක වීසා මත රුසියාව සඳහා යාමට පුද්ගලයන්ට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය” විසින් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දිනයේ (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ” අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

Trending

Exit mobile version