පුවත්

රේගුවටත් නොකියා ගෙනා වාහන 200ක් අල්ලස් කොමිසම සොයයි

Published

on

රේගුවට නොදන්වා මෙරටට ආනයනය කරන ලද වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රේගුවෙන් විමසීමක් කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියයි.

රේගු මූලස්ථානයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

රේගුවට නොදන්වා මෙරටට ආනයනය කරන ලද වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රේගුවෙන් විමසීමක් කර තිබෙන බවත්, මෙරටට ආනයනය කරන බහාලුවලින් සියයට සියයක්ම රේගුව විසින් පරීක්ෂාවට ලක් නොකරන බවත්, අවදානම් බහාලුම් පමණක් මෙහිදී පරීක්ෂා කෙරෙන බවත්, පරීක්ෂා නොකරන බහාලුමක් හරහා වාහනයක් රට තුළට ඇතුළුවිය හැකි බවත් ඔහු එහිදී පැහැදිළි කර සිටියේය.

ඇතැම් විට බහාලුම් පරීක්ෂා කරන නිලධාරීන්ගේ සුපිලිපන්න භාවයේ ගැටලුවක් නිසා වාහන රට තුළට ඇතුළු විය හැකි බවත්, ආයෝජන මණ්ඩලයට ආනයනය කරනු ලබන බහාලුම් රේගුවේ නිලධාරීන් පරීක්ෂා නොකරන බවත්, එම බහාලුම් හරහා ද වාහන රට තුළට රැගෙන යාමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

වාහන අමතර කොටස් බව රේගුවට ප්‍රකාශ කර ආනයනය කරන ලද වාහනයක් රේගුව පෙරේදා (04) අත්අඩංගුවට ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

වාහන ආනයනය සඳහා අවසරය ලබාදීම මගින් රේගුවට වසරකට රුපියල් බිලියන 350 ත් 400 ත් අතර මුදලක් උපයා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version