ශ්‍රී ලංකාවට ඉහළ අභිජනන එළදෙනුන් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබේ.
ඒ ශ්‍රී ලංකාව තුළ ඉහළ කිරි නිපදවන ගව විශේෂ නොමැතිවීම නිසාය.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව පවසා ඇත.
එසේම, මේ වන විට කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ පශු සම්පත් සංවර්ධන ක්ෂේත්රය යළි නගා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟව ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.
ආර්ථික අර්බුදය මධ්‍යයේ කර්මාන්තය මුහුණ දී ඇති පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදනය හා කිරි නිෂ්පාදනය පසුගිය වසරේ 19% කින් පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අතර, 2021 මහ කන්නයේ රටේ බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටීම නිසා රට තුළ සත්ව ආහාර හිඟයක් ඇති වූ බවත්, බඩඉරිඟු ආනයනයට ඩොලර් හිඟය බාධාවක් වීම නිසා මෙය තවත් උග්‍ර වූ බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
කෙසේ වෙතත්, 2022 වසර අවසන් වන විට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 180,000ක් ආනයනය කිරීමටත්, මෙම කන්නයේදී බඩඉරිඟු හෙක්ටයාර් 60,000ක් වගා කිරීමට හැකිව ඇතැයි ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.